Tuesday, March 21, 2023

ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..


ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිලිබඳ ගිවිසුම ද ජනාධිපතිවරයා විසින්

 පාර්ලිමේන්තුවේදී සභාගත කළා. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බවට ඇතැමුන් අර්ථ දක්වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එම ප්‍රකාශ ඔවුන් සිදුකරනු ලබන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පහසුකම අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජුලි 09 වෙනිදා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවයි.

"මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්.  දවසකට පැය 10 - 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්. 

මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.

මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා."

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නඟා සිටුවීමේ පියවරක් බවයි. මෙම ණය පහසුකම වසර 4ක් තුළ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් ලැබෙන අතර පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබි ඇති බවද ප්‍රකාශ කර සිටියා. 

මීට අමතරව, වෙනත් පාර්ශ්වවලින් වේගවත් ණය ආධාරයක් ලෙස රට තවත් ඩොලර් බිලියන 7 ක් පමණ රටට ලබා ගත හැකි බවට තමන් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම විස්තීර ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීම නැවත ලබා දෙන බවත්, රට බංකොලොත් නොවන බව සහතික කරන බවත්, ජාත්‍යන්තර පිළිගැනීම නැවත ලබා ගැනීමට බැංකුවලට උපකාර කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පවසා සිටියා. මෙමගින් අඩු පොලී ණය සඳහා අවස්ථා නිර්මාණය වනු ඇති බවත් විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය යළි ස්ථාපිත කර ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා අඩිතාලම දමනු ලබන බවයි එතුමා වැඩිදුරටත් කියා සිටියේ.

ඇතැමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර ණය පහසුකම හිමිවීම තවත් එක් ණයක් ලෙස සලකන අතර තවත් පිරිසක් පවසන්නේ ලැබුණු මුදලින් රටේ මුළු ණය ගෙවා නිම කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. මෙම ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ නොදැනුවත්කම හෝ දේශපාලන වාසි තකා රට පාවාදීමට ඇති කැමැත්ත බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ, නොයෙකුත් පීඩනයන් විඳ දරා ගනිමින්, දුක් විඳිමින් මේ රටේ බොහෝ ජනතාව සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපතිතුමා පවසා සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වූ බවත් ඒ නිසා ඔහු මේ රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

" අප දැන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය පුරාම අපට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට සිදුවේ. අපගේ සාර්ථකත්වයේ පදනම මෙම මාර්ගය හරහා වනු ඇත. මෙම ප්‍රතිසංස්කරණවලින් සමහරක් 2022 අතුරු අයවැය සහ 2023 සඳහා වන අයවැය හරහා දැනටමත් යෝජනා කර ක්‍රියාත්මක කර ඇත. අපි තවත් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙනවා," ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශය අතරතුර පාර්ලිමේන්තුවට පවසා සිටියා.

2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා අඩු කර 2026 වන විට ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා. 

සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය 30% දක්වා ඉහළ නංවා ඇති අතර ආංශික බදු සහනඉවත් කර ඇත. උපයන විට ගෙවීමේ බදු අනුපාතය 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති අතර බදු නිදහස් කිරීමේ සීමාව රු. මිලියන 300 සිට රු. මිලියන 80 දක්වා අඩුකර ඇති බවද ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

*වැට් බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.

*2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්.

* තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දීමට රජයේ අවදානය.

*රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර.

*ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උදමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම.

*ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.

*ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.

*සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා.

*මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කරනවා.

*ස්වෛරීය ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීමට පියවර. #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment