ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන්වලින් සමන්විත වුණු අගනා සම්පතකි. ශ්‍රී ලංකාවේ ආදීතම මුතුන් මිත්තෝ ජලයේ වටිනාකම මනා සේ අවබෝධ කර ගෙන සිටියහ. පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා “අහසින් වැටෙන එක දිය බිඳකුදු මිනිස් පරිභෝජනයෙන් තොරව මුහුදට යා නොදෙන්න.” යන උදාර
ප්‍රකාශය ක්‍රියාවට නඟමින් බොහෝ රජවරු සමුදුර පරයන වැව් ඉදි කළහ. මිනිසුන්, සතුන්, ගස්වැල් ආදී ජීවයක් ඇති සියලුම සත්ත්වයින්ට ජීවත්වීම උදෙසා වාතය හා ආහාර අත්‍යවශ්‍ය වන්නා සේම ජලය ද අත්‍යවශ්‍ය වේ. ජලය ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද අපූර්වතම නිර්මාණයක් මෙන්ම අපට දායාද කරන ලද මහඟු සම්පතකි. ආහාර නොමැතිව අපට දින කිහිපයක් ජීවත් විය හැකිය. නමුත් ජලය නොමැතිව පැය කිහිපයක් හෝ ජීවත් වීම අසීරුය. මෙවැනි කාරණා මැනවින් ධාරණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආදී මුතුන් මිත්තන් නිර්මාණය කරන ලද ගංගාවන් චිරාත් කාලයක් පුරාවට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. ගංගා දූෂණය වීම පිළිබඳ නිරතුරුවම කතාබහට ලක් වන අතර මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.
ගංගාවන් දුෂණය වීම
ලංකාවේ භුමිය සුවිශේෂී වේ. ලංකාවේ ගංගා පිහිටා තිබෙන සුවිශේෂී ආකාරයට ලෝකයේ වෙනත් රටවල ගංගා පිහිටා නොමැත. ලංකාවේ සෑම ගංගාවක්ම මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වනවා යනුවෙන් සමාජයේ වැරදි මතයක් පවතී. මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන ගංගා තිබෙන්නේ දහසයක් පමණි. උතුරු පළාතෙන් ආරම්භ වන ගංගා ද තිබේ. සමස්තයක් වශයෙන් ගත් කල්හි ලංකා සිතියම පුරාම ගංගා පිහිටා තිබේ. ලෝකයේ මහා ශිෂ්ටාචාර බිහි වී තිබෙන්නේ ගංගා අසබඩය. උදාහරණ වශයෙන් නයිල් නිම්න, මොහෙන්දජාරෝ හරප්පා යනාදී ශිෂ්ටාචාර පෙන්වා දීමට පුළුවන. පානය කිරීමට, කෘෂිකාර්මික කටයුතු කිරීමට සහ අනෙකුත් මිනිසුන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා මිනිසාට ජලය අත්‍යවශ්‍ය නිසාවෙන් ගංගා ආශ්‍රිතව ජනාවාස ඇති වී තිබේ. ක්‍රි.ව. 1700- 1800 කාලයේදී කාර්මික විප්ලවය සමයේදී තේම්ස් ගඟට විශාල අර්බුදයක් ඇති විය. පසු කාලීනව තේම්ස් ගඟ ආශ්‍රීතව විශාල කර්මාන්ත ශාලා බිහි විය. මෙම කාරණා නිසා කාර්මික විප්ලවයට සමගාමීව මහා පරිමාණයෙන් ගංගා දුෂණය වීම සිදු විය. 1960- 1970 කාලයේදී යුරෝපීය රටවල් ගංගා අපවිත්‍ර වීම යම් තරමක් අඩු කර ගත්හ. නමුත් චීනයේ ගංගා අපවිත්‍ර වුයේ ගිය සියවස අග භාගයේදීය. කෙසේ වුවත් වේගයෙන් සංවර්ධනය වීමේදී රටවල පරිසර පද්ධතීන්වලට විශාල හානියක් සිදු විය. නමුත් අග භාගයේදී චීනයේ අපවිත්‍ර වුණු ගංගා මේ වන විට යුරෝපීය ගංගාවලට වඩා පිරිසුදු තත්ත්වයක තිබේ.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ගංගා දරුණු ලෙස දුෂණය වී තිබීම, විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. කෘෂි රාසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීම, පාංශු හායනය, මල මුත්‍ර වැනි අපද්‍රව්‍ය ජලයට එකතු වීම, අවිධිමත් නාගරීකරණය, අවිධිමත් කර්මාන්තකරණය, යනාදී හේතු සාධක නිසා ගංගා දූෂණය වීම සිදු වේ. කෘෂිකාර්මික කටයුතුවලට ගන්නා කෘමිනාශක ජලයට එකතු වීමෙන් ජලයට විෂ මිශ්‍ර වේ. එම විෂ රසායනික මිනිසුන්ට මෙන්ම සතුන්ට ද හානිකරය. පාංශු හායනය නිසා ගංගාවල ධාරිතාව අඩු වී ගංගාවල වෙනස්කම් ඇති වේ. ගාංගාවලට මල මුත්‍ර වැනි අපද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් විවිධ රෝගාබාධ ඇති වේ. නගරවල තිබෙන පැල්පත් ජනාවාසවලින් බැහැර කරන අපද්‍රව්‍ය ගංගාවලට බැහැර කරලීමෙන් එම ජනාවාසවල මිනිසුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. උදාහරණයක් වශයෙන් අපද්‍රව්‍ය ගංගාවලට බැහැර කිරීම නිසා මුළු පරිසරයම දුර්ගන්ධයක් වහනය වීම පෙන්වා දිය හැකිය. එමඟින් ජනාවාසවල ජීවත්වන ජනතාවට පමණක් නොව මුළු කොළඹ නගරයටම ද බලපෑමක් සිදු වේ.
කර්මාන්තශාලාවලින් බැහැර කරන නොදිරන අපද්‍රව්‍ය මඟින් ද ජලයට විෂ රසායනික ද්‍රව්‍ය එකතු වේ. එමඟින් එම ජලය පරිභෝජනය කරන මිනිසුන්ට රෝගාබාධ ඇති වේ. ප්ලාස්ටික්වල තිබෙන මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එකතු වු විට, එම ප්ලාස්ටික් ගංගාවල මසුන් ආහාරයට ගනී. එම මසුන් මිනිසුන් පරිභෝජනය කිරීම ද ඉතාමත් අහිතකරය. තව ද මෙමඟින් ප්ලාස්ටික්වලට ආහාර දාමයක් නිර්මාණය වීම සිදු වේ. දැනටමත් එම ආහාර දාමය නිර්මාණය වී තිබීමත්, ගඟ වාහකයක් වී තිබීමත් සිදුව ඇත. විශේෂයෙන්ම පෑලියගොඩ, කැලණිය යන ප්‍රදේශවල පවතින අවිධිමත් නාගරීකරණය සහ කර්මාන්තකරණය ගංගාවලට විශාල බලපෑමක් සිදු කරයි.
මෙම ප්‍රදේශවල ඉදි කර තිබෙන කර්මාන්තශාලාවල Treatment Plant නිසි ධාරිතාවට අනුව සකස් නොකිරීම, වියදම අඩුවෙන් සකස් කිරීම, ගංගාවල වතුර මට්ටමට යටින් බට තිබීම වැනි කාරණා හේතුවෙන් ගංගා ජලය අපවිත්‍ර වී තිබේ. සැබවින්ම ශ්‍රී ලංකාවේ ගංගා දූෂණය වීම සිදු වන්නේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙනි.
“සුරකිමු ගංගා” ජාතික වැඩසටහන
ඉන්දියාවේ “ පවිත්‍ර ගංගා” යනුවෙන් එක් ගංගාවක් සඳහා වැඩසටහනක් ආරම්භ කළ ද එය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ ද “පවිත්‍ර ගංගා” යනුවෙන් හඳුන්වන වැඩසටහනක් ආරම්භ කළ ද එය පවත්වාගෙන යෑමට නොහැකි විය. මෙවර අප “සුරකිමු ගංගා” යනුවෙන් හඳුන්වන ජාතික වැඩසටහනක් සම්පාදනය කර තිබේ. මෙම වැඩසටහන පිළිබඳව මෙවර අගමැතිතුමා සිය අයවැය කතාවෙහි ද සඳහන් කළේය. මෙම වැඩසටහන එතරම් සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ ගංගා 103 ක් තිබේ. “සුරකිමු ගංගා” වැඩසටහන එම ගංගා 103 ටම අදාළ වේ. මෙම වැඩසටහනේ ව්‍යුහය පුළුල් ලෙස විහිදී පවතී. පහළින්ම ප්‍රාදේශීය සුරකිමු ගංගා කමිටු පිහිටා තිබේ. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 300 පමණ ප්‍රමාණයක, ගංගාවක් අයිනෙන් ගලා ගෙන යනු ලබයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ඉවුර අදාළව පවතී. ඒ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළින් ඔවුන්ට අයිති ඉවුර සුරක්ෂිත කර ගත යුතුය. ඒ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලධරයින් ගඟ අපවිත්‍ර වන්නේ කුමන හේතූන් නිසා ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. මෙහිදී ගංගා අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මිනිසුන් බලගැන්විය යුතුය. උදාහරණ ලෙස ගං ඉවුරු ශක්තිමත් කිරීම සඳහා ගස් වර්ග වැවීම, නාන තොටුපළවල් සකස් කර ගැනීම, අනවසර වැලි කැණීම් නතර කිරීම යනාදී කාරණා සිදු කිරීමට මිනිසුන් බලගැන්විය යුතුය. තව ද ගංගා අපවිත්‍ර වීම වළක්වා ගැනීමට සිදු කළ හැකි යම් ව්‍යාපෘතීන් (ගංගා සංරක්ෂණ ව්‍යාපෘතීන්) පරිසර අමාත්‍යංශයට එවීමට අවස්ථාව ලබා දී ඇත. එම ව්‍යාපෘති නිරීක්ෂණය කර අදාළ කමිටුව මඟින් ඇතැම් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දේ. දිස්ත්‍රික් කමිටුව මඟින් ප්‍රාදේශීය කමිටුව සහ ජාතික කමිටුව අතර ගනුදෙනු කරනු ලබයි. දිස්ත්‍රික් කමිටුව හරහා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කටයුතු නිරීක්ෂණය කර අදාළ ගාංගාවල සුරක්ෂිතතාව සඳහා කටයුතු කරනු ලබයි. ජාතික මෙහෙයුම් කමිටුවෙහි අමාත්‍යංශ ලේකම්වරු, සහ විවිධ ආයතන කටයුතු කරයි. පරිසර අමාත්‍යංශයේ ලේකම් ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය දරනු ලබයි. “සුරකිමු ගංගා” යනුවෙන් හඳුන්වන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අප අදාළ ආයතනවලට මාර්ගෝපදේශනයක් ලබා දේ.
රසායනික පරීක්ෂණ
යම් ගංගාවක් පිරිසුදු ද, අපිරිසුදු ද යන්න පිළිබඳව අප තීරණය කරන්නේ රසායනික පරීක්ෂණයක් සිදු කිරීමෙනි. කොරෝනා වසංගතය ආරම්භ වුණු කාලයේදීම ශ්‍රී ලංකාවේ ගංගා 103 පිළිබඳව Mobile APP හරහා පරීක්ෂා කෙරිණි. එම Mobile APP එක තුළ අපිරිසුදු ගංගාවන් මොනවා ද? එලෙස එම ගංගා අපිරිසුදු වන්නේ කෙසේ ද, යනාදී වශයෙන් ගංගාවක් අපිරිසුදු වන ආකාරය පිළිබඳව සෑම තොරතුරක්ම ඇතුළත් වේ. මීට අමතරව අප පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් සහ පරිසර අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත “සුරකිමු ලංකා” ලේකම් කාර්යාලයක් පිහිටුවා තිබේ. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පැමිණෙන යෝජනාවන් සොයා බලා ඒවා ක්‍රියාත්මක කිරීමට කමිටුවක් සහ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් ද නිර්මාණය කිරීමට සියලු කටයුතු සකස් කර ඇත . සුරකිමු ගංගා වැඩසටහන නිසි පරිදි පවත්වාගෙන යෑම පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ජනාධිපති කාර්ය සාධක බලකාය, අදාළ අමාත්‍යවරුන් යනාදී බලධරයින් සෑම දෙනකුම සොයා බලා කටයුතු කරනු ලබයි. මේ වන විට මාර්තු 22 දිනට නියමිත ලෝක ජල දිනයේදී, මැණික් ගඟ අසබඩ දී “සුරකිමු ගංගා” වැඩසටහන ජාතික මට්ටමින් දියත් කිරීමට සියලු කටයුතු යොදා තිබේ.
මාස දෙකකට පමණ පෙර මැණික් ගඟ විශාල වශයෙන් බොර වී ඇති බවක් දැක ගත හැකි විය. මෙම බොර තත්ත්වය අඩු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමෙන් පසු වර්තමානයේදී මැණීක් ගඟේ බොර තත්ත්වය යම්තාක් දුරකට මඟ හරවා ගත හැකි විය. මාර්තු 22 වන දින මැණික් ගඟට Plastic traps (ප්ලාස්ටික් රඳවන), කිඹුලන් සඳහා ස්ට්‍රැප්ස් (කිඹුලන් සඳහා ප්ලාස්ටික් රඳවන) යෙදීම, ගස් වැවීම, ආරක්ෂාරී තාප්ප නිර්මාණය කිරීම (Gabion walls) නාන තොටුපළවල් ක්‍රමවත් කිරීම, කතරගම පුජා භූමියේ කුණු කසළ නිසි පරිදි බැහැර කරවීම යනාදී කටයුතු ආරම්භ කරනු ලබයි. කතරගම පුජා භූමිය මුළුමනින්ම පොලිතින්වලින් තොර කලාපයක් කිරීමට ද පරිසර අමාත්‍යංශය බලාපොරොත්තු වේ. නමුත් එය එතරම් පහසු කාර්යයක් නොවේ. මීට අමතරව කතරගම පුජා භූමියට අයත් රෙදි බෑගයක් යනුවෙන් නම් කරන ලද රෙදි බෑග් හදුන්වා දීම, පොලිතින් එකතු කරන මධ්‍යස්ථාන භූමිය තුළ ස්ථාපිත කිරීම ආදි කාර්යයන් සිදු කිරීමට අරමුණු කර ගෙන සිටී. පසුකාලීනව මෙවැනි ක්‍රමවේද නල්ලතන්නියට ද හඳුන්වා දීමට ද බලාපොරොත්තු වේ.
ගංගාවන් සුරක්ෂිත කිරීම
ලෝකයේ ඇතැම් රටවල, ජලය විදේශ රටවලින් ගෙන්වනු ලබයි. සැබවින්ම එය අනුවණ ක්‍රියාවකි. ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ගංගාවන් නිසි පරිදි පිරිසුදු කර ආරක්ෂා කර නොගත හොත් රටේ සෑම පුරවැසියකුටම විශාල ඛේදවාචකයකට මුහුණු දීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම ගංගා පිරිසුදු කළ විට මෙරට පවතින ස්වභාව සුන්දරත්වය වැඩි දියුණු කළ හැකි වේ. එවිට මෙරට සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කළ හැකිය. උදාහරණයක් වශයෙන් නේපාලයේ ගාංගාවන් නිල් පැහැ වී ආකර්ෂණීය අන්දමට පිහිටා තිබීම පෙන්වා දිය හැකිය. ලෝකයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ජෛව විවිධත්වයෙන් උපයුක්තව, ස්වභාව සෞන්දර්යයෙන් අනූන වී තිබෙන නිසාවෙනි. ශ්‍රී ලංකාවේ තිබෙන ගංගා අපවිත්‍ර වී දුඟඳ හමන ස්වරූපයක් ගන්නේ නම් කිසි දිනක ලංකාවට සංචාරකයින් පැමිණීමට කැමති නොවේ. ඒ හේතුවෙන් මෙරට සියලුම ගංගා පිරිසුදු කර ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමකි. වර්තමානයේදී අප මෙරට ගංගා පිරිසුදු කර සුරක්ෂිත කර ගැනීමේ කඩඉමේ සිටී. ගංගාවක් යනු හුදෙක් ගඟක් නොව පරිසර පද්ධතියකි. එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුගේම යුතුකමකි. ගංගා සහ වැව් යනු අපට භූගත ජලය තිබෙන ස්ථාන වේ. සැබවින්ම ජලය ධනය මෙන් සුරකිය යුතුය. ලෝකයේ ජනගහනය වැඩිවීම සහ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් යම් අවස්ථාවලදී ජල හිඟතාවන් ඇති වේ. ජලය තිබේ නම් ඕනෑම පුද්ගලයකුට බියක් නැතිව ජීවත් වීමට පුළුවන. සැබවින්ම ජලය පණ මෙන් සුරක්ෂිත කළ යුතු වේ.
විශේෂඥ වෛද්‍ය
අනිල් ජාසිංහ
දිණමින
No comments:
Post a Comment