Friday, October 8, 2021

ලොවක් ගිනි තැබූ පැන්ඩෝරා කඩදාසි


පැන්ඩෝරාගේ පෙට්ටිය පිළිබඳව කතාව පැමිණෙන්නේ  ක්‍රි. පූ. 800 දී පමණ යි. ඒ ග්‍රීක පුරාවෘත්තවල. ඒ ඉතිහාස කතාවට අනුව සැමියා මහත් ආශාවෙන් පෙට්ටියක් රැකබලා ගන්නවා. 

බිරිද තුල උපන් කුතුහලය නිසා සිය සැමියා රැකබලාගත් පෙට්ටිය විවෘත කිරීම නිසා මානව වර්ගයාට ශාරීරික හා චිත්තවේගීය ශාප එල්ල වූ බව ඉතිහාස කතාවේ සඳහන්. සැමියා රැකබලා ගත් පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව ඉක්මනින් පෙට්ටිය වසා දැමීමට ඉක්මන් වූවත් ඒ තුළ ඉතිරි කරගත හැකිවූයේ  වූයේ එක් දෙයක් පමණයි. ඒ “රැවටිලිකාර අපේක්ෂාව” යි.

පැන්ඩෝරා පත්‍රිකා ඊට වෙනස්.

International Consortium of Investigative Journalists හෙවත් කව්රුත් දැන් ICIJ යනුවෙන් හඳුන්වන සංවිධානය සුවිශේෂී සංවිධානයකි. එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන එය ඔවුන්ගේම වාර්තාකරණ කණ්ඩායමක් ඇති කුඩා සම්පත්දායක ප්‍රවෘත්ති කාමරයක් මෙන්ම ලොව වැදගත්ම කථා විමර්ශනය කිරීම සඳහා එකට වැඩ කරන වාර්තාකරුවන්ගේ සහ මාධ්‍ය සංවිධානවල ගෝලීය ජාලයකි.

ICIJ ජාලය සාමාජිකයන් ඇතුළත් රටවල් 100 කට වඩා වැඩි ප්‍රමාණයක හොඳම විමර්ශනාත්මක වාර්තාකරුවන් 280 සහිතව ක්‍රියාත්මක වන්නකි. BBC, the New York Times, The Guardian සහ Asahi Shimbun ඇතුළු ලොව සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන සිට කුඩා ප්‍රාදේශීය ලාභ නොලබන විමර්ශන මධ්‍යස්ථාන දක්වා මාධ්‍ය ආයතන 100 කට වැඩි සංඛ්‍යාවක් සමඟ හවුල් වුවක්.

ICIJ කළ පරීක්ෂණ වලදී බහුජාතික දුම්කොළ සමාගම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන ලද ජාවාරම හෙළිදරව් විය. ඔවුන් විසින් 2017 පුලිට්සර් ත්‍යාගලාභී පැනමා ලිපි ද ඇතුළුව ගෝලීය සැඟවුණු ආර්ථිකය පිළිබඳ මෑත කාලීන පරීක්ෂණ මඟින් රටවල් දුසිම් ගණනක ඉල්ලා අස්වීම්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රතිපත්ති වෙනස්වීම් සිදු විය.

ICIJ හි ගෝලීය සාමාජික ජාලය විමර්ශන මාධ්‍යවේදීන් 280 ක් ශක්තිමත් වූවකි. කණ්ඩායම කුඩා වුවත් එහි ගැඹුරු අදහස්වලින් පෝෂණය වුන කණ්ඩායම ලෝකයට මහත් බලපෑමක් කරයි. දේශසීමා හරහා විමර්ශන ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කරන රටවල් 100 කට වැඩි ගණනක එහි සාමාජිකයින් සිටියි.

වසර ගණනාවක් පුරාවට ICIJ විසින් පුලිට්සර් ත්‍යාගලාභී පැනමා ලිපි ද ඇතුළත්ව පරීක්ෂණ දුසිම් ගණනක් නිකුත් කර ඇති අතර එහි කටයුතු සඳහා සම්මාන රාශියක් දිනා තිබේ. ICIJ සම්පුර්ණයෙන්ම අරමුදල් සපයනු ලබන්නේ පරිත්‍යාග වලිනි.

මෙවර ICIJ විසින් නිකුත් කරනු ලබන පැන්ඩෝරා කඩදාසි (pandora papers) යනු සඟවා ඇති ධනය, බදු පැහැර හැරීම සහ සමහර අවස්ථාවලදී ලොව සමහර ධනවත් හා බලවත් අය විසින් මුදල් විශුද්ධිකරණය හෙළි කරන ලිපි මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක තොරතුරු කන්දකි.

පැන්ඩෝරා පේපර්ස් සඳහා ලිපි මිලියන 6.4 ක්, පින්තූර මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්, ඊමේල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ පැතුරුම්පත්(spreadsheets) මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් බවයි සඳහන් වන්නේ.

මෙරට ඉහලම දේශපාලන පවුල බව කියන රාජපක්ෂ පවුලේ සමීතම ඥාතිවරියක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරියක්ද වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් හා සම්බන්ධ ගනුදෙනු පිලිබඳ තොරතුර ඉන් එකක් පමණකි.

එක්සත් රාජධානිය, කටාර් පාලක පවුල, ජෝර්දානයේ රජුගේ ගනුදෙනු, අසර්බයිජානයේ ප්‍රමුඛ පවුල, චෙක් අගමැතිවරයා කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ පවුල ඇතුළුව රටවල් 90 ක දේශපාලනඥයින් 330 කට වැඩි සංඛ්‍යාවක් සමඟ ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් තම ධනය සඟවා ගැනීම සඳහා  සමාගම් භාවිතා කරන කපටි ආකාරය ලිපි ගොනු මඟින් හෙළිදරව් කර තිබේ.

මුහුදු වෙරළේ මුදල් සැඟවීම (Hiding money on the beach) කොතරම් පහසුද යන්න යම් පමණක ඇත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉහළ රහස්‍යභාවයක් ඇති රටක හෝ අධිකරණ බල ප්‍රදේශයක සමාගමක් පිහිටුවීමයි. මෙය නමට පමණක් පවතින සමාගමක් වන අතර කාර්ය මණ්ඩලයක් හෝ කාර්යාලයක් නොමැත.

ඒ සඳහා මුදල් වැය වුවද සඟවන්නා වෙනුවෙන් සමාගම් පිහිටුවීමට සහ පවත්වාගෙන යාමට විශේෂඥ සමාගම් වලට ගෙවනු ලැබේ. මෙම සමාගම් වලට ගෙවිය යුතු අධ්‍යක්ෂවරුන්ගේ ලිපිනය සහ නම් ලබා දිය හැකි අතර එම නිසා අවසානයේ ව්‍යාපාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සොයා බැලීමක් නොකරයි.

ICIJ ට අනුව එලියට වැටුණු පැන්ඩෝරා පත්‍රිකා අනුවනම් මේ සැඟවුණු එහෙත් අනාවරණය කරගත් මුදලේ ඇස්තමේන්තුව ඩොලර් ට්‍රිලියන 5.6 සිට ඩොලර් ට්‍රිලියන 32 දක්වා පරාසයක පවතී. එහෙත් අවසන් නිවැරදි ඉලක්කමකින් කීමට නොහැකි වන්නේ සත්‍ය සොරකම මීටත් වඩා ඉහල අගයක් ගන්නා නිසාවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා ඇත්තේ ‘බදු සුරක්‍ෂිතතා’ භාවිතා කිරීම නිසා ලොව පුරා රජයන්ට වාර්ෂිකව අහිමි වන බදු මුදල ඩොලර් බිලියන 600 ක් දක්වා වන බවයි.

මේ වන විටත් එක්සත් රාජධානියට විදේශයන්හි පිහිටි නිර්නාමික සමාගම්වලට දේපල අයිතිය ලබා දීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ. එක්සත් රාජධානියේ දේපල වල අවසාන අයිතිකරුවන් ප්‍රකාශයට පත් කළ යුතු බවට රජය 2018 දී නීතියක් ප්‍රකාශයට පත් කළේය. එහෙත් එය තවමත් අතර මගය. එය තවමත් කෙටුම්පතකි.

පැන්ඩෝරා පත්‍රිකාවල රහස් ගනුදෙනු හෙළිදරව් වූ දේශපාලනඥයින් සහ නායකයින් වැඩි වැඩියෙන් විවේචනයට හා පරීක්‍ෂණයට මුහුණ පා සිටින අතර ලොව විශාලතම අක්වෙරළ කාන්දු වීම හේතුවෙන් ලොව පුරා බොහෝ රජයන් පරීක්ෂණ සඳහා පොරොන්දු වෙමින් සිටියි.

පසුගිය 3වන ඉරිදා සිට, විමර්ශන ICIJ සහ අනෙකුත් මාධ්‍ය හවුල්කරුවන් ඉන්දියාවේ, ස්පාඤ්ඤයේ, පකිස්ථානයේ, අයර්ලන්තයේ, මෙක්සිකෝවේ, ජර්මනියේ, පාකිස්තානයේ, බල්ගේරියාවේ, ඕස්ට්‍රේලියාවේ, බ්‍රසීලයේ, පැරගුවේ සහ ලංකාවේ දී පවා මේ ආන්දෝලන කුණාටුව හමායමින් තිබේ. බොහෝ තැන්හී රාජ්‍ය නායකයෝ ඒ ගැන සොයන බවට ප්‍රකාශ නිකුත් කළහ.

330 කට අධික දේශපාලනඥයින්ගේ සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් සහ රටවල් 90 කට වැඩි ගණනක රාජ්‍යනායකයින් 35 දෙනෙකු ඇතුළුව රහස් ගනුදෙනු සහ සැඟවුනු වත්කම් දෙස කරබාගෙන සිටීමට රාජ්‍ය නායකයන්ට නොහැකිව තිබේ.

පත්‍රිකාවලට සම්බන්ධ වර්තමාන ලතින් ඇමරිකානු රාජ්‍ය නායකයින් තිදෙනාගෙන් කෙනෙකු වන චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා, විමර්ශනයෙන් හෙළිදරව් වූ මතභේදාත්මක ව්‍යාපාරික ගනුදෙනුවක් පිළිබඳව වාර්තා කිරීම සඳහා සඳුදා සිය ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. කිසිඳු හිරිකිතයකින් තොරව ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබිණි.

මැලේසියාවේදී, විපක්ෂ නායක අන්වර් ඊබ්රාහිම් සඳුදා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට හදිසි යෝජනාවක් ඉදිරිපත් කළ අතර, හිටපු මුදල් ඇමති ඩයිම් සෙයිනුදීන්ගේ අක්වෙරළ මුල්‍ය වත්කම් සහ ව්‍යාපාරික හවුල්කරුවන් පිළිබඳ විස්තර ඇතුළත් පැන්ඩෝරා ලියවිලි හෙළිදරව් විවාදයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

උහුරු කෙන්යාටා
කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ඔහුගේ විදේශ සංචාරය අවසානයේ පැන්ඩෝරා ලේඛන හෙලිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් කරන බව වාර්තා වේ. කෙන්යටා දැනට පවසා ඇත්තේ “කෙන්යාවේ සහ ලොව පුරා අපට අවශ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ විවෘතභාවය වැඩි දියුණු කිරීම සඳහා මෙම වාර්තා බොහෝ දුරට උපකාරී වනු ඇත” යනුවෙනි. එහෙත් ICIJ ය සිය විමර්ශන ක්‍රමවේදය අනුව යමින් මේ පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීමට පෙර කෙන්යාටා සහ ඔහුගේ පවුලේ අය වෙත ඊමේල්, දුරකථන ඇමතුම් සහ වට්ස්ඇප් පණිවිඩ දුසිමකට වඩා යවා තිබෙන බව පැවසේ. එහෙත් ඒ කිසිවෙක් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ අතර එමඟින් ඔහුගේ පවුල සතු ගනුදෙනු වල අයිතිවාසිකම් හෙළි විය.

මෙම විමර්ශනය පිළිබඳව අදහස් දක්වා ඇති බොහෝ නිලධාරීන් අතර යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ද වන අතර ඔහු පැන්ඩෝරා පත්‍රිකා වල හෙළිදරව් කළ ක්‍රියාවන් සහ ඒවාට සම්බන්ධ කූප්‍රකට නාමධාරීන් හෙළා දකින අතර බදු පැහැර හැරීම් හා ආක්‍රමණශීලී බදු සැලසුම් වලට එරෙහිව සටන් කිරීමට යුරෝපා සංගමය වැඩි යමක් කළ යුතු බව පැවසීය.

වොන් ඩර් ලේන්
පින්ලන්තයේ සඳුදා පැවති උත්සවයකට එක්වෙමින් එහි අගමැතිනිය වොන් ඩර් ලේන් පැවසුවේ “බදු පැහැර හැරීම සහ ආක්‍රමණශීලී බදු සැලසුම් කිරීම කිසිසේත් පිළිගත නොහැකි” බවයි. “යුරෝපා සංගමය තුළ ලෝකයේ ඉහළම බදු විනිවිදභාවය පිළිබඳ ප්‍රමිති කිහිපයක් අප සතුව ඇත, නමුත් එය ප්‍රමාණවත් නොවන බව අපට පෙනෙන පරිදි වැඩි වැඩ කොටසක් අවශ්‍යයි,” ඇය පැවසුවාය.

පැනමාවේ ලිපි ලේඛන කලින් විශ්ලේෂණය කළ ජර්මනියේ මුදල් ඇමති ජර්මනියේදී පැවසුවේ තම කණ්ඩායමේ පැන්ඩෝරා ලිපි ලේඛන පරීක්ෂා කිරීමට තම ආණ්ඩුව සූදානම් බවයි. “පැන්ඩෝරා පත්‍රිකා වල බදු අපරාධ පිළිබඳ සාක්ෂි තිබේ නම්, අපි ඒවා අඛණ්ඩව ලුහුබැඳ යමු” යැයි මුදල් ඇමති මයිකල් බොඩන්බර්ග් පැවසීය.

ඇමරිකානු ජනාධිපති ජෝ බිඩන්ගේ මාධ්‍ය ලේකම්වරයා වාර්තාකරුවන්ට පැවසුවේ ධවල මන්දිරය පැන්ඩෝරා කඩදාසි වාර්තා කියවා ඇති බවත් මූල්‍ය අපරාධවලට එරෙහිව ඇමරිකාවේ සටන වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා කැපවී සිටින බවත්ය.

සඳුදා ද ඉන්දීය මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ කාන්දු වූ ඉන්දීය නම් ගැන සොයා බලා “සුදුසු පියවර” ගන්නා බවයි. ICIJ හි පැනමා ලිපි ලේඛන සහ පැන්ඩෝරා පත්‍ර පරීක්‍ෂණ වලින් පසුව පසුගිය මාසය වන විට ඉන්දීය බලධාරීන් විසින් හෙළි නොකළ වත්කම් ඩොලර් බිලියන 2.7 ක් හඳුනාගෙන ඇති බව ද එහි සඳහන් වේ. මූල්‍ය අපරාධ අධීක්ෂණය කරන එරට මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළත් බහු නියෝජිත කාර්ය බලකායක් විසින් “පැන්ඩෝරා පේපර්ස්” නමින් මාධ්‍ය තුළ කාන්දු වන දේ නිරීක්ෂණය කරන බව අමාත්‍යාංශය පැවසීය.

චිලියානු ජනාධිපති සෙබස්තියන් පිනෙරා 2021 ඔක්තෝබර් 4 වන දින සැන්ටියාගෝහි ලා මොනේඩා ජනාධිපති මැදුරේදී ලෝක නායකයින්ගේ බදු ගෙවීම් ගැන හෙළිදරව් කරමින් පැන්ඩෝරා ලියවිලි පරීක්‍ෂණයේ සඳහන් වූ පසු සියල්ල ප්‍රතික්ෂේප කරමින් පුවත්පත් සාකච්ඡාවක් කළේය.

ලෝකයේ සමහර ධනවත් පුද්ගලයින්ගේ මූල්‍ය රහස් හෙළිදරව් කළ, ඉතිහාසයේ බදු රහසිගතභාවය හෙළිදරව් කරමින් දත්ත කාන්දු වූ විශාලතම ලිපි ගොනු තොගය වූ මෙයට ටෙරාබයිට් 2.94 ක් අඩංගු පැන්ඩෝරා පත්‍රිකා  ලිපිගොනු සොයා ගන්නේ වියට්නාමයේ සිට බෙලීස් සහ සිංගප්පූරුව දක්වාත්, බහාමාස් සහ සීෂෙල්ස් වැනි දූපත් සමූහ දක්වාත් වූ ස්ථාන 14 කින්ය.

එතරම් දීර්ඝ පැන්ඩෝරා පත්‍රිකා වල වූ ධනවතුන් හා රාජ්‍ය නායකයන් ගැන තොරතුරු කීපයක් මෙසේයි.

ජෝර්දානයේ II වන අබ්දුල්ලා රජු
ජෝර්දානයේ II වන අබ්දුල්ලා රජු රහස් සමාගම් හරහා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ඩොලර් මිලියන 100 ක පමණ දේපළ රැස් කිරීම. ඒවා 2003 සහ 2017 අතර බදු ගෙවා ඇති ලියාපදිංචි සමාගම් හරහා මිලදී ගත් අතර මාලිබු, දකුණු කැලිෆෝනියාවේ සහ වොෂිංටනයේ සහ ලන්ඩන් වල දේපල ඇතුළත් ය.

ලෙබනන් අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි, ඔහුගේ පූර්වගාමියා වූ හසන් ඩයබ්, ලෙබනනයේ මහ බැංකු අධිපති රියාද් සලාමේ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් දැනට ප්‍රංශය තුළ විමර්ශනය කෙරෙමින් පවතීන හිටපු රාජ්‍ය ඇමති සහ අල් මාවරිඩ් බැංකුවේ සභාපති මර්වාන් කෙයිර්ඩීන්ගේ සම්බන්ධතා ද වෙනවා.

පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයේ ප්‍රමුඛයින්, ඔහුගේ පක්ෂයට මුදල් පරිත්‍යාගකරන්නන් සහ රටේ ඉහලම හමුදා ජෙනරාල්වරුන්ගේ පවුලේ සාමාජිකයින් මුදල් විශුද්ධිකරණ සමාගම් හරහා ඩොලර් මිලියන ගණනක ධනයක් ගෙන ගිය බව මේ තොරතුරු අතර වෙනවා.

චෙක් අගමැති ඇන්ඩ්‍රේජ් බබීස් 2009 වසරේදී ප්‍රංශ රිවීරා හි වතුයායක් මිලදී ගැනීමට ඩොලර් මිලියන 22 ක් හුවමාරු කළ බවත් ඔහුගේ අයිතිය රහසිගතව තබා ගත් බව මේ පත්‍රිකා වල සඳහන් වේ.

ඉල්හම් අලියෙව්
අසර්බයිජානියානු ජනාධිපති ඉල්හම් අලියෙව් සහ ඔහුගේ පවුලේ අය ඩොලර් මිලියන 542ක් වටිනා බ්‍රිතාන්‍ය දේපල වෙළඳාම් වලට රහසිගතව සම්බන්ධ වී ඇති බව මේවායේ ඇතුළත් වනවා.

පෙර කී කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හය දෙනෙකු මුදල් විශුද්ධිකරණ සමාගම් 13 කට සම්බන්ධ වී තිබේ.

ඒ අතරට ඉන්දීය රයන් ගෞරව ලබන ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ නමද ඇතුළත්ව තිබේ.

1997 සිට 2007 දක්වා එක්සත් රාජධානියේ අගමැති වූ ටෝනි බ්ලෙයාර්, එම දේපල හිමි බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සමාගමක් මිලදී ගැනීමෙන් 2017 දී ඩොලර් මිලියන 8.8 ක වික්ටෝරියානු ගොඩනැගිල්ලක හිමිකරු වූ බවත් එම ගොඩනැගිල්ල දැන් ඔහුගේ බිරිඳ වන චෙරි බ්ලෙයාර්ගේ නීති ආයතනයට සත්කාරකත්වය සපයන බවත් මේ පත්‍රිකා වල ඇතුළත් වේ.

පුටින් සහ ස්වෙට්ලානා ක්‍රිවොනොඛික්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ වසර ගණනාවක රහසිගත සම්බන්ධතාවයක සිටි රුසියානු කාන්තාවක් බව කියන ස්වෙට්ලානා ක්‍රිවොනොඛික් 2003 දී අප්‍රේල් මාසයේදී කැරිබියන් දූපතක් වන ටෝර්ටෝලා හි සංස්ථාපිත සමාගමක් හරහා මොනාකෝ මහල් නිවාසයක හිමිකාරිය බව වාර්තා වේ. එලෙසම රුසියාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී මධ්‍යස්ථානයක පුටින්ගේ ප්‍රතිරූපය සාදන්නා සහ ප්‍රධාන විධායක කොන්ස්ටන්ටින් අර්න්ස්ට්, 2014 සෝචි හි පැවති ශීත ඔලිම්පික් උළෙල මෙහෙයවීමෙන් පසු මොස්කව්හි සෝවියට් යුගයේ සිනමා ශාලා සහ ඒ අවට දේපල මිලදී ගැනීමට සහ වැඩි දියුණු කිරීමට වට්ටමක් ලබා ගත් බව මේ හරහා අනාවරණය වී තිබේ.

ඒ අතරට ගැනෙන තවත් එක් අනාවරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ පාලක රාජපක්ෂ පවුලට ඉතාම සමීප ඥාතිවරියක් වන හිටපු ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂගේ සැමියාගේ ඉපයීම් ය. ඔහු තිරුකුමාර් නඩේසන් ය.

නිරූපමා රාජපක්ෂ, නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි හී සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා භාවිතා කර ඇත්තේ පෙර කී ව්‍යාජ සමාගමකි. තිරුකුමාර් නඩේෂන් එවැනිම වෙනත් සමාගම් භාවිතා කරමින් ශ්‍රී ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශ සමාගම් වලින් ලාභ උපදේශන කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ කලා කෘති මිලදී ගැනීමට භාවිතා කළ බවයි පැවසෙන්නේ.

2018 දී මේ එක් සමාගමක් වෙතින් පැසිෆික් වෙළඳ භාණ්ඩ, සිතුවම් 31 ක් සහ අනෙකුත් දකුණු ආසියානු කලා කෘති ජිනීවා ෆ්‍රීපෝට් වෙත මාරු කරන ලද අතර ඒවා බදු හෝ තීරු වලට යටත් නොවුණු බවයි සඳහන්ව ඈත්තේ.

ICIJ විශ්ලේෂණයකට අනුව සිංගප්පූරුව පදනම් කරගත් සේවා සපයන්නෙකු හරහා නඩේසන් කළ ඉපයීම් ගැන ICJI විසින්ම නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනාගෙන්ම තොරතුරු ප්‍රශ්න කර තිබේ. 2021 සැප්තැම්බර් 20 දක්වාත් ඒ දෙදෙනා ඒවාට පිළිතුරු දී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා පැවසූ පසු 2021 .10. 06 දින තිරුකුමාර් නඩේසන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ලියමින් පවසා තිබුණේ චෝදනා වලට තමන් සහ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ නිර්දෝෂී බවත්, කිසිදු වරදක් සිදුකර නොමැති බවට සහතික කර පැවසීමට හැකි බවයි. 
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූයේ නිරූපමා රාජපක්ෂ තමන්ගේ සහෝදරියක් වුවත් ඔවුන් දේශපාලනිකව යහපාලනය සමග සබදතා ඇති බවත්, දෑවැද්දට හම්බෙන දේට අපි මොනවා කරන්නද යනුවෙනි.
මේ අතර මෙම වාර්තා පරීක්ෂා කර බලා මසක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට දන්වා සිටිනවා.
ගල්ඔය News

No comments:

Post a Comment