Saturday, March 21, 2020

බන්ධනාගාර ගත කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි

ඉතාලියේ සිට පැමිණි ලාංකිකයෙකු බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බව වාර්තා වේ.
පොල්ගහවෙල පදිංචිකරුවකු වන මෙම 37 හැවිරිදි තැනැත්තා ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 08 වැනිදාය. පසුව ඔහු නිරෝධායන කටයුතු සඳහා නොගොස් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවසේ රැඳී සිට ඇත. එහිදී පසුගිය 16 වන දින අසල්වාසියකු සමග ආරවුලක් ඇති කරගෙන එම පුද්ගලයාට පිහියකින් පහරදී තුවාල සිදු කර ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයා පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා ඇත. ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. එම තත්ත්ය අනාවරණය වීමෙන් පසු මෙලෙස කෑගල්ල බන්ධනාගාරයේ නොසන්සුන්තාවය හටගෙන ඇත.

මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ දින 14ක් ගතවන්නේ අද (21) දිනට බවත් ඉන් පසුව නිරෝධායනයකට ලක්නොවූ මොහුට කොරෝනා වෛරසය අසාදනය වූවෙකුගේ  ලක්ෂණ මතු වුවහොත් සම්පුර්ණ බන්ධනාගාරයම අනතුරට ලක්විය හැකි බවට බන්ධනාගාර නිලධාරීන් අනතුරු අඟවති.
කෑගල්ල බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 350ක් පමණ වුවද මෙවනවිට එහි 900කට ආසන්න රැඳවියන් පිරිසක් දැඩි අපහසුතා මධ්‍යයේ රඳවා සිටින බවද වාර්තා වේ.
සැකකරුගේ පහර දීමට ලක්වූ පුද්ගලයා මෙවනවිට සුවය ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment