Monday, April 13, 2020

මෙදාපාර සිංහල අවුරුද්ද වෙනදාට වඩා ගාම්භිරව සැමරිය යුතුය 💐 💐💐 ඒ ඇයි ?


මෙදාපාර සිංහල අවුරුද්ද වෙනදාට වඩා ගාම්භිරව සැමරිය යුතුය 💐 💐💐
ඒ ඇයි ?
කොරෝනා වසංගතය ලොවපුරා පැතිරේ. මිනිසුන් දහස් ගණන් මියැදේ. එහෙව් එකේ අපි කොහොමද අවුරුදු කන්නේ යැයි මෙම සිංහල අවුරුදු සමයේ බොහෝ දෙනා සිතනවා නො අනුමානය. අපගෙන් පුද්ගලිකව එය විමසන අයත් ඇත. ඒ අයටත් පිළිතුරක් ලෙස මා ඒ සම්බද්ධ දරන මතය මෙසේ පලකරමි. 
සිංහල අලුත් අවුරුද්ද යනු හුදු ස්වභාවධර්මය හා බැඳි උත්සවයකි. එය උත්සවයක් හෝ සැනකෙළියක් කර ගත්තෝ හෙළයාමය. එය ඇත්තටම අනිකුත් මංගල්‍යන් මෙන් විනෝදවීමේ අරමුණට වඩා සූර්ය වසරක් පුරා තම දිවියට සවිදුන් සියල්ලට කෘතගුණ දැක්වීම මූලික අරමුණ වූ නිරාමිස සතුටක් බුක්ති විඳීමක් ය.
පෘථිවය බිහිවූ දා සිට ලෝක සත්වයන් පහලවීම උදෙසා හේතු සැකසින. රස පොළොව කෙරේ ඇතිවූ තන්හාව හේතුවෙන් අභස්සර බඹලොව සිට මෙලොව බැසගත් සත්වයා හට හිමිව තිබූ ස්වයං ප්‍රභාව අතුරුදහන් වූ බවත් එතැන් පටන් රෑ / දිවා පලවූ බවත් පක්ෂියෝ ( ත්‍රිථි හෙවත් පොහොය), සෘතු හටගත් බවත් එතැන් පටන් නැකත් තරු පහලවූ බවත් අග්ගඥ්ඥ සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ දේශනාකොට වදාල සේක. එනම් ලෝක තත්වයන්ට සත්වයා නතු වීම ග්‍රහ තත්වයන් නිරූපනය කරන බවයි.

භාරත දේශයේ බ්‍රාහ්මණ කුලයේ ඉපිද වවිද ශාස්ත්‍ර හදාරා පැවිද අත්තනගලු විහාරයේ වැඩ වාසය කල අනවමදර්ශී සංඝරාජ හිමිපානන් විසින් ක්‍රි.ව.1382 දී පමන රචනා කලා යැයි කියැවෙන දෛවඥකාමධෙනු ( නුගේගොඩ මොඩන් පොත් සමාගම පරිවර්තනය ) නම් ග්‍රන්තයට අනුව සූර්ය සංක්‍රාන්තිය ලංකාව මූලික කොට සිදුවන්නකි. එය ලොකයේ වෙන කිසිම රටක් මූලිකව සිදුවන්නක් නොවේ. ග්‍රෙගෝරියන් වර්ෂ උදාව කිරිබිට් දිවයින ආශ්‍රිතව සිදුවන බව දනිතත් නව සූර්ය වර්ෂ උදාව ලංකාව මූලික කොට සිදුවන බව දන්නෝ අල්පයක් මය. සූර්ය සංක්‍රාන්තිය සමරන ජාතියක් ලෙස එයද අප දැනගත යුතුය.
එනම් අප සමරන සිංහල අලුත් අවුරුද්ද ලෝක සත්වයා මෙලොව පහලවූ දා සිට සම්මතව පැවති සැබෑ අවුරුදු උදාවයි. එය විශ්ව නීතියටම අනුකූල අවුරුදු උදාවයි. එය ලංකාව මූලිකව ලොකයට උදා වන වසරක් වීම විශේෂත්වයෙන් මෙරට වැසියා හට ආඩම්බරය ට කාරනාවක් විය යුතුය. අපගේ ප්‍රෞඩත්වය එයයි.
මෙවැනි වටිනා දිනයක් ඉහලින් සැමරීමට අතීත හෙළයා පෙලැඔුනේ එහි වටිනාකම නුවනින් අවබෝධ කොටගෙන තිබූ බැවින්ය. එය ගෞරවාන්විතව සැමරීම ලෝකයටම කරන ආශීර්වාදයක් බැවින්ය. ඉතිං මෙහෙව් දිනයක් නොසලකා හැරීම ස්වභාව ධර්මයා උහුලයිද ? 
ඇත්තටම මෙම කොරෝනා වසංගතය ද මිනිසා ස්වභාවධර්මය ට ගරු නොකල වරදට මිනිසාට දුන් දඬුවමක්ය. එබැවින් පරිසරයට/ සවභාව ධර්මයට කරන ගරුකිරීමක් ලෙසත් නව සූර්‍ය ගමනේ සිට ලෝක සත්වයා සියලු අඳුරින් මුදවාලනු පිනිසත් හරියට නැකත් චාරිත්‍ර සිදුකරමින් නව අවුරුද්ද පිළිගත යුතුමය. එසේ නොවුනොත් වන්නේ අනර්ථයක් මය. සූර්ය සංක්‍රාන්තිය සමග අලුත් වූ සූර්ය ලබාදෙන නව හිරු කිරණ ගෞරවයෙන් වැළදගත යුතුය. සූර්යා ගේ සිට මෙතෙක් තමනට ජීවය දුන් සියලු ස්වභාවික තත්වයන්ට ගරු කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. අතීත හෙළයා එකසිය විසි වස් ආයු වැළඳුවේ ඒ අනුහසින් ය. එකසිය විස්සට දෙසිය විස්සක් අයු ලැබුමට පෙර පින පාදගත්තේ ඒ ගෞරව කිරීමේ පල ලෙසය. 

රේවතී නැකතින් අස්නිදයට පැනගත් හිරුගේ පලමු කිරණ විඳින්නන් ලෙස හෙළයන් නවහිරු රැස් සුහදව පිළිගෙන යවමු ලොව පුරා සුවවන ලෙස පතා රොග බි⁣යෙන් සලිත වූවන් !!!

** පුන්‍යකාලය උදාවන අප්‍රියල් 13 සඳු දින අපරභාග 01.59 ට පෙර කා බී සියලු වැඩ අත්හරින්න. මෙවෙලේ දුකටපත් අය හට සෙත් පතා දම්සක් පැවතුම, මහාසමයම , ආටානාටිය, ගිරිමානන්දය , තුන්සූත්‍රය , අභිසම්බිදානය , ජය පිරිත ආදී පිරිත් කියන්න.. මෛත්‍රී භාවනාව වඩන්න.

** නව අවුරුදු උදාව - අප්‍රියල් 13 සඳු දින අපරභාග 08.23 ට..
ඔබ මෙතෙක් කල් චාරීත්‍රයක් ලෙස අවුරුදු උදාවට කිරි ඉතිර වූ වා නම් පරණ මුට්ටියක හෝ පොල්කිරි වලින් හෝ ( එළකිරි නොමැතිනම් ) පොළොව මහී කාන්තාවට කරන ගෞරවයක් ලෙස මෙවරද එය කරන්න.. නව වසරේ දුකටපත් සෑම නිවසකම මෙතැන් පටන් කිරි ඉතිරේවායි පතන්න.

** අප්‍රියෙල් 13 සඳු දින අපරභාග 10.05 ට නැගෙනහිර දිශාව බලා ශ්වේතවර්ණ නැකතට ළිප මොලවන්න. කිරිබතක් ලිප තබන්න.. දුකටපත් අයගේ නිවෙස් වලද ළිප මෙලවේවා , කිරිබතක් ඉදේවා යැයි පතන්න !

** අප්‍රියල් 13 සඳු දින අපරභාග 10.43 ට ශ්වේතවර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා නැකතට වැඩ අල්ලන්න.. පැලයක් සිටුවන්න , ළිඳත් සමග ගණුදෙනු කරන්න , කිරිබතක්, ප්‍රනීත ආහාරයක් අනුභව කරන්න.. දුකටපත් වූ අය ඔබට දුන් ආහාරයක් ලෙස සිතා ඒ අයට සුවය පතා ඒවා අනුභව කරන්න.

රෝහලේ රෝගීන් පිරුණා කියා වෛද්‍යවරුන් නොකා නොබී නිරාහාරව ඉන්නේ නැත. අවුරුදු මගහරින්නේ නැත. රෝහල පැවැත්මට නම් වෛද්‍යවරුන් හොඳින් සෞඛ්‍ය සම්පන්න විය යුතුය. ලෝකය ජීවත්කරවන වෛද්‍යවරුන් ලෙසත්, නව සූර්ය සංක්‍රාන්තිය පලමුව පිළිගන්නා ලෝ වැසියන් ලෙසත් නිරෝගී හෙළයා මෙවෙලේ රෝගීන් වීම ගුණ නැත. තව තවත් ශක්ති සම්පන්නව අනුන් කෙරේ වෙහෙසිය යුතුය.. මෙත් වැඩීම උපතින් පුහුණු වූවන් ලෙස එම යුතුකම ඉටුකල යුතුය.. ⁣ස්වභාවධර්මයා ට උපරිම ගරුකිරීමට මෙවර සිංහල අලුත් අවුරුද්ද අවස්ථාවක් කරගත යුතුය.. රජයේ උපදෙස් ද ගරුකරමින් හැකි උපරිමයෙන් අවුරුදු චාරීත්‍ර සිදුකරන්න.. මෙහි යථාර්ථය තේරුම් ගන්න..

දෛව
ප්‍රියදර්ශන ආරියරත්නා

No comments:

Post a Comment