ඊයේ රාත්‍රීයේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වයන් සමඟ මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 200 ක් අවතැන් වී පුද්ගල මරණ දෙකක් වාර්තා වන බව කෑගල්ල දිසාපති මහින්ද එස්
වීරසූරිය මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ආපදාවන් සිදුව ඇති ස්ථානයන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට අද උදෑසන එක් වෙමිනි.
කෑගල්ල සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී වැඩි වශයෙන් ආපදා අනතුරු වාර්තා වන අතර ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගස්දෙණිය ෆෙයාර්ෆීල්ඩ් ප්‍රදේශයේ අවුරුදු 48 ක පුද්ගලයෙක් කුඩාඔයේ ජල පහරක ගසාගෙන යාමෙන් මරණයට පත්ව ඇති අතර කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්දෙණිය ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී අවුරුදු 72 ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිස්ත්‍රික්කයේ අවතැන් වූ පුද්ගලයින් සහ අධි අවදානම් ස්ථාන වල සිටි ජනතාව ඉවත් කොට මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. පීඩාවට පත්ව සිටින පිරිස් සඳහා සහන සැලසීම වෙනුවෙන් සියළුම
ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදිස් දී ඇති බව දිසාපති මහින් ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ආපදාවට පත්ව ඇති පිරිස් වෙනුවෙන් සහන සැලසීම සඳහා අද පෙ.ව 3.00 සිට ආපදා මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරුණ අතර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් එක්ව ආපදා මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකරන බව දිසාපතිවරයා ප්‍රකාශ කළේය. පවතින කොවිඩ් - 19 වසංගත තත්වය ද සැලකිල්ලට ගිනිමින් මෙම මෙහෙයුම් කටයුතු ක්‍රියාමක් කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම අවතැන් වූ ප්‍රජාව සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමට මේ වන විට පියවර ගෙන තිබේ. ආපදා අවදානම් ඇති ස්ථාන වෙත ගොස් නිරීක්ෂණ කටයුතු කොට අදාළ පියවර ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ද මේ වන විටත් යොමු කර ඇත.
එමෙන්ම ඉදිරියේ දී ඇතිවන ආපදා තත්තවයන් සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රජාව පෙර සූදානමින් සිටීම මේ මොහොතේ අතිශය වැදගත් වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව විශ්වසනීය සන්නිවේදන මාධ්‍ය මඟින් නිකුත් කරන අවවදාත්මක පණිවුඩ පිළිබඳ අවධානයෙන් සිටීම. අවදානම් සහිත ප්‍රදේශවල සිටින ප්‍රජාව ග්‍රාම නිලධාරී සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධීකරණය පවත්වා ගැනීම, හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ආපදා මල්ල සූදානමින් තබා ගැනීම, අවදානම් කලාප වල සිටින ජනතාව ග්‍රාමීය ආපදා කමිටුව හා එක්වෙමින් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර සුරක්ෂිතභාවය සලසා ගැනීම ආදී කරුණු කෙරෙහි ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Media unit - kegalle









No comments:
Post a Comment