රෝහල් සායන අපද්‍රව්‍ය බහාලීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට අවශ්‍ය පොලිතීන් බෑග්වල හිඟයක් ඉදිරියේ දී රටේ ඇති විය හැකි යැයි සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් මහතා ප්‍රකාශ කරයි.
රටේ ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇණවුම් කර ගෙන ගෙන්වා
තිබෙන අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ද ඒ මහතා පෙන්වා දෙයි.
කොළඹ පෙරේදා (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩි දුරටත් කරුණු දැක්වූ එම සංගමයේ ලේකම්වරයා මෙසේද කීය.
පසුගිය රජය විසින් ලන්ච්ෂීට් ඇතුළු දිරායන පොලිතීන් නිෂ්පාදනයන් කිරීමට නීති සකස් කළ විට ඊට අනුගත වෙමින් ව්‍යාපාරිකයන් කටයුතු කළා. නමුත් තවමත් ඇතැම් ස්ථානවල නීති විරෝධී ආකාරයට නිපදවන ලද ලන්ච්ෂීට් පවතිනවා. ඒවා වැටලීම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
කොරෝනා වෛරසය සමඟ රජය විසින් අප්‍රේල් 16 වැනිදා අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වීම තහනම් කළා. ඊට අනුගතවෙමින් බැංකු මගින් ණයවර ලිපි නිකුත් කිරීම ජූලි 15 දක්වා අත්හිටුවා තිබෙනවා. නමුත් අපි රජයට කියන්නේ අප්‍රේල් 16 ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කර ගෙන්වන ලද පොලිතින් අමුද්‍රව්‍ය කන්ටේනර් 500කට වැඩිය රේගුවේ තැන්පත් කර තිබෙනවා.
රේගුව සමඟ සාකච්ඡා කිරීමේදී රේගුව මේවා මුදාහරින්න ලෑස්තියි. නමුත් ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය නොවන දේවල් මුදා නොහරින ලෙසට නිකුත් කර තිබෙන චක්‍රලේඛය නිසා මුදා හරින්න බැරි බව පවසනවා. ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් මේ ගැන විමසන විට මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව කටයුතු කරනවා කියනවා. අපි කියන්නේ අපි මුදල් ගෙවලා වරායට ගෙනත් තියෙන කන්ටේනර්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා.
අපි ගෙන් වූ අමුද්‍රව්‍යවලින් කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා භාවිත කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල 6,000ක් නිෂ්පාදනය කරලා ඇමැතිවරුන් තුන්දෙනකුට බාර දුන්නා. වරායේ නැවතී තිබෙන ඇතැම් කන්ටේනර්වල මුඛ ආවරණ පවා තියෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට යම්තාක් දුරකට රට නිදහස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කර්මාන්තයේ යෙදෙන 40,000කගේ පමණ සේවකයන්ගේ රැකියා සහ ඉන් යැපෙන ලක්ෂ තුනක පමණ ජන ජීවිතය නැවත ගොඩනඟා ගන්න උදවු කරන්න කියලයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මියගෙන් විමසීමේ දී ඇය කියා සිටියේ සහනයක් ලබා දිය හැකි නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි
දිනමිණ

No comments:
Post a Comment