Friday, February 12, 2021

සරපයා කවුරු වුනත්, එකම එන්නතක් ලංකාවෙන් සොයාගනී


රුක්මණි දේවිය රඟපෑ චිත්‍ර­ප­ට­යක නයකු දෂ්ට කිරී­මෙන් ඈ මිය ගොස් භූම­දා­නය කළ පසුව, ඇගේ ස්වර්ණා­භ­රණ ගැනී­මට පුතුන් වළ හාරන විට ඈ නැඟිට එන ආකා­රය තව­මත් මසි­තෙහි නිද­න්ගත වී තිබෙන්නේ එදා කුඩා දැරි­ය­කව සිටි මා

තුළ හට ගත් භීතිය හා විස්මය නිසාය. රුක්අ­ත්තන ලීයෙන් තැනූ පෙට්ටි­යක මෘත­දේ­හය තැන්පත් කළ විට සර්ප විෂ ඊට උරා ගැනීම නිසා ඇය ප්‍රකෘති තත්ත්ව­යට පත් වූ බව එදා මට කියා දුන්නේ මගේ පියා ය. සැලෝ­ල­යිඩ් පට­වල සර්ප දෂ්ට­න­යෙන් මිය ගිය අය පියවි සිහිය ලැබු­වද සැබෑ ලෝකයේ නම් එවැනි සිදු­වීම් දක්නට ලැබෙන්නේ නැත. ඒ වෙනු­වට අස­න්නට ලැබෙන්නේ සර්ප දෂ්ට­න­යෙන් මිය යන අවස්ථා ය.

ලංකාවේ සර්ප දෂ්ට­න­යෙන් වස­ර­කට මිය යන සංඛ්‍යාව 100ක් පමණ වේ. ලංකාවේ සර්ප විශේෂ 105ක් පමණ සිටි­යද සෑම සර්ප­ය­කුම දෂ්ට කළ පම­ණින් මිය යන්නේ නැත. මෙම සර්ප විශේෂ උග්‍ර විෂ, සුළු විෂ සහ නිර්විෂ යනු­වෙන් හඳුනා ගෙන ඇත. නාගයා, තිත් පොළඟා, පොළොන් තෙළිස්සා, තෙල් කර­වලා, මාපිලා, මූදු කර­වලා උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ලෙස සැලකේ.

“ඇත්ත­ටම සර්ප විෂ කියන්නේ එන්ස­යිම මිශ්‍ර­ණ­යක්. ගොදුරු ගිලපු අව­ස්ථාව, කෝප­යෙන් ඉන්න අව­ස්ථාව ආදි වශ­යෙන් සර්පයා සිටින අව­ස්ථාව අනුව විෂ වෙනස් වෙන්න පුළු­වන්. ඉස්සර නම් ලංකාවේ සර්ප දෂ්ට­නය වාර්තා වුණේ කුඹුරු ආශ්‍රි­තව. ඒත් දැන් කුඹු­රු­වල ගොයම් කප­න්නත් යන්ත්‍ර­සූත්‍ර පාවිච්චි කරන නිසා සර්ප දෂ්ටන අවස්ථා වෙනස් මුහු­ණු­ව­රක් ගෙන තිබෙ­නවා. අද සර්ප දෂ්ට­නය සිද්ධ වෙන්නේ මනු­ෂ්‍යයා සහ පරි­ස­රය අතර ඇති ගැටුම නිසා.“ යනු­වෙන් පැව­සුවේ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ මහා­චාර්ය එස්.ඒ.එම්. කුල­රත්න ය. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ සර්ප දෂ්ටන කොමි­සමේ සම සභා­ප­ති­ව­රයා වෙයි.

බට­හිර වෛද්‍ය ක්‍රම­යට අනුව සර්ප දෂ්ට­න­ය­කදී සිදු කෙරෙන ප්‍රති­කා­රය වන්නේ සර්ප විෂ ලබා ගෙන සකස් කර ගත් ප්‍රති­විෂ එන්නත් කිරී­මය. මෙම එන්නත් දැනට ගෙන්වනු ලබන්නේ ඉන්දි­යා­වෙනි.

“ප්‍රති­විෂ එන්නත් පිට­ර­ටින් ගෙන්වන විට අපට සංකීර්ණ ගැටලු මතු වෙනවා. මොකද ඉන්දි­යාව එන්නත් නිෂ්පා­ද­නය කරන්නේ ඒ රටේ සර්ප­යන්ගේ විෂ අරං. ඒවා ලංකා­වේදී වෙනස් වෙන්න පුළු­වන්. උදා­හ­ර­ණ­යක් හැටි­යට ලංකාවේ මූදු කර­වලා හිටි­යාට ඉන්දි­යාවේ නැහැ. ඒ වගේ අව­ස්ථා­ව­ලදි අපි සතා හඳු­නා­ගෙන ඒ සතාගේ ප්‍රමා­ණ­යට අනු­මාන කරන විෂ අනුව එන්නත් ලබා දෙනවා. ඒත් ගැටලු මතු වෙනවා. ඒ නිසා තමයි ලංකා­වට ගැළ­පෙන එන්නත් නිෂ්පා­ද­න­යක් ගැන අපි හිතුවේ.“ යනු­වෙන් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජයන්ත රාජ­පක්ෂ පැහැ­දිලි කළේය.

මීට අවු­රුදු තුන­කට පමණ පෙර මේ සම්බ­න්ධ­යෙන් විදේශ රට­ව­ල්වල පැවැත්වූ වැඩ­මුළු, සාක­ච්ඡා­ව­ලට සහ­භාගි වීමෙන් ලබා ගත් දැනුම ද ඔහුට මෙහිදී ප්‍රයෝ­ජ­න­වත් විය. මහා­චාර්ය ජයන්ත රාජ­ප­ක්ෂගේ ප්‍රති­විෂ එන්නත් නිෂ්පා­ද­නය කිරීමේ පර්යේ­ෂ­ණ­යට මහා­චාර්ය එස්.ඒ.එම්. කුල­රත්න සහ ජ්‍යෙෂ්ඨ සර්ප විශේ­ෂඥ ඇන්ස­ලම් ද සිල්වා යන අය ද දායක වූහ.

සර්ප­යන් සමඟ කට­යුතු කිරී­මේදී වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මැ­තිය ලබා ගැනීම අත්‍ය­වශ්‍ය බැවින් ප්‍රථ­ම­යෙන් එය ලබා ගැනිණි. ඉන්ප­සුව විවිධ ප්‍රදේ­ශ­ව­ලින් අල්ලා ගත් සර්ප­යන්ගේ විෂ විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට ලබා ගනු ලැබීය. ඒවායේ අන්ත­ර්ගත විෂ ප්‍රමා­ණ­යන් මැනී­මෙන් අන­තු­රුව අධි ශීත­ක­ර­ණ­යක විෂ තැන්පත් කර පවු­ඩර් බවට පත් කර ගෙන තිබේ. මේ සඳහා ඉන්දි­යාවේ රසා­ය­නා­ගා­ර­යක සහ­යෝ­ගය ලැබුණු බව ද සඳ­හන් කළ යුතුය.

“සර්ප විෂ හොඳින් දරා ගත හැකි සත්ව­යකු තමයි අශ්වයා. ඒ නිසා අපි අපේ පර්යේ­ෂ­ණ­යට අශ්ව­යන්ව තෝරා ගත්තා. මෙහිදී මාස 9ක් විතර මයික්‍රෝ ග්‍රෑම් ප්‍රමා­ණයේ සර්ප විෂ නිශ්චිත ක්‍රම­වේ­ද­ය­කට අශ්ව­යන්ට එන්නත් කළා. අශ්ව­යන් තුළ ප්‍රති­දේහ නිෂ්පා­ද­නය වූ පසුව පර්යේ­ෂණ කර­මින් නිය­මිත කාල වක­වා­නු­වේදී අශ්ව­යන්ගේ රුධි­රය ලබා­ගෙන එහි ප්ලාස්මාව (ප්‍රෝටින්) විත­රක් වෙන් කර­ගෙන අශ්ව­යා­ගෙන් ලබා ගත් රුධි­රය පිරි­සිදු කර නැව­තත් අශ්ව­යන්ට දුන්නා. සර්ප විෂට එරෙ­හිව අශ්ව­යාගේ ශරී­රයේ නිප­දවා තිබුණු ප්‍රති­දේහ රුධිර ප්ලාස්මා­වෙන් වෙන් කර ගත්තා. ඊට­පස්සේ සාවුන් මීයන් යොදා­ගෙන අශ්ව­ය­න්ගෙන් ගත්ත ප්‍රති­දේහ එන්නත් කර නැවත ලබා දී සාර්ථ­ක­ත්වය නිරී­ක්ෂ­ණය කළා. මේ විදි­හට අපි දිගින් දිග­ටම පර්යේ­ෂණ කරලා තමයි සර්ප ප්‍රති විෂ එන්නත් නිෂ්පා­ද­නය සාර්ථක කර ගත්තේ.“ යනු­වෙන් විස්තර කළේ මහා­චාර්ය ජයන්ත රාජ­පක්ෂ ය.

මෙම ප්‍රති­විෂ එන්නතේ ඇති විශේ­ෂ­ත්වය වන්නේ සර්පයා කව­රකු වුවද මෙය ලබා දීමට හැකි වීමයි. මෙතෙක් ප්‍රති­විෂ එන්නත් ලබා දීමේදී සර්පයා අනු­මාන වශ­යෙන් හෝ හඳු­නා­ගැ­නීම වැද­ගත් විය. එහෙත් මෙම එන්නත නිෂ්පා­ද­නය කර තිබෙන්නේ ලංකා­වට ආවේ­ණික සර්ප විෂ එක­තු­ව­කිනි. එබැ­වින් මෙයින් ඇති විය හැකි සංකූ­ලතා ඉතා අල්ප බව මහා­චාර්ය ජයන්ත රාජ­ප­ක්ෂගේ අද­හස ය.

අද වන විට සාර්ථ­ක­ත්ව­යට ළඟා වී ඇති මෙම ප්‍රති­විෂ එන්නත් නිෂ්පා­ද­නය තවත් මාස කීප­ය­කින් ජන­තාව වෙත ලබා දිය හැකි බව සඳ­හන් කළ මහා­චාර්ය ජයන්ත රාජ­පක්ෂ, ලංකා­වට වාර්ෂි­කව අවශ්‍ය වන ප්‍රති­විෂ එන්නත් 80,000ක් පමණ මෙර­ට­දීම නිෂ්පා­ද­නය කිරී­මට හැකි වීම ඔවුන් ලැබූ සුවි­ශාල ජය­ග්‍ර­හ­ණ­යක් බව පැව­සීය. ඔහු එසේ පැව­සී­මට හේතු වූයේ එන්නත් ආන­ය­නය වෙනු­වෙන් වැය වන විදේශ විනි­මය ඉතිරි කර ගැනී­මට හැකි වන බැවිනි. එහෙත් මෙම ප්‍රති­විෂ එන්නත් කර්මා­න්ත­යක් ලෙස ලංකාවේ නිෂ්පා­ද­නය කිරී­මට පහ­සු­කම් නොමැති වීමත් නිෂ්පා­ද­නය කළ ද ඊට විශාල මුද­ලක් වැය කිරී­මට සිදු වීමත් නිසා ප්‍රති­විෂ ඉන්දි­යා­වට යවා එහි නිෂ්පා­ද­නය කිරීම වඩාත් ලාභ­දායි බව ඔහු සඳ­හන් කළේය.

මෙම එන්නත දියර සහ පවු­ඩර් වශ­යෙන් නිෂ්පා­ද­නය කිරීමේ බලා­පො­රො­ත්තු­වක් මහා­චාර්ය ජයන්ත රාජ­පක්ෂ සතු ය. දියර වශ­යෙන් තිබෙන එන්නත් අධි ශීත­ක­ර­ණ­යක ගබඩා කළ යුතු අතර දීර්ඝ කාල­යක් තබා ගත නොහැකි නිසා පවු­ඩර් මගින් ප්‍රති­විෂ සකස් කිරී­මට සැල­සුම් කර තිබෙන්නේ ලංකාවේ අධි ශීත­ක­රණ නොමැති ග්‍රාමීය රෝහ­ල්ව­ලට පවා මෙම එන්නත් ලබා දීමේ අර­මුණ පෙර­දැරි කර­ගෙ­නය.

“ඇත්ත වශ­යෙන් ම ලංකාවේ සර්ප දෂ්ට­න­යෙන් මිය යෑමට බල­පාන කරුණු අතර ප්‍රති­විෂ ඖෂධ නැති­කම ප්‍රධාන වශ­යෙන් බල­පා­නවා. දුෂ්කර, ග්‍රාමීය රෝහ­ල්ව­ලට රැගෙන එන රෝගින්ට ප්‍රති­විෂ එන්නත් දීමට හැකි­යා­වක් නැහැ. රෝගි­යාව වෙනත් රෝහ­ල­කට රැගෙ යන විට අසාධ්‍ය වෙනවා. ඊට අම­ත­රව ඉන්දි­යා­වෙන් ගෙන්වන ප්‍රති­විෂ ඖෂ­ධය අසා­ත්මික වූ අවස්ථා තිබෙ­නවා. මොකද ඒ ඖෂ­ධය දෙන්න සර්ප­යාව නිවැ­ර­දිව හඳුනා ගැනී­මත් වැද­ගත්. සර්පයා හරි­හැටි හඳුනා නොගැ­නීම නිසා ඖෂ­ධය අසා­ත්මික වෙන්න පුළු­වන්. ප්‍රමාද වී රෝහ­ලට පැමි­ණීම සහ සර්ප විෂ අධික ප්‍රමා­ණ­යක් ශරී­ර­ගත වී තිබීම යන කාරණා නිසාත් රෝගින් මර­ණ­යට පත් වෙනවා. සර්ප දෂ්ට­න­යෙන් මිය යන ප්‍රමා­ණය බින්දුව කර ගැනී­මට තමයි අපි උත්සාහ කරන්නේ. ප්‍රති­විෂ එන්නත ලංකාවේ නිෂ්පා­ද­නය කෙරෙ­නවා නම් අපිට ගොඩාක් ප්‍රශ්න අඩු කර ගෙන මිය යන ගණන අඩු කර ගැනී­මට හැකි­වේවි කියලා විශ්වාස කර­නවා.“ යනු­වෙන් මහා­චාර්ය එස්.ඒ.එම්. කුල­රත්න සඳ­හන් කළේය.

මෙහිදී ඔහු තවත් වැද­ගත් කරු­ණක් පැව­සී­මට අම­තක කළේ නැත. ඒ, කුණ­ක­ටු­වන් දෂ්ට කළ විට ඉන්දි­යා­වෙන් රැගෙන එන ප්‍රති­විෂ ඖෂ­ධය ඊට ප්‍රති­කාර සඳහා නොගැ­ළ­පෙන බවයි.

“සාමා­න්‍ය­යෙන් කුණ­ක­ටු­වාව සල­කන්නේ මඳ විෂ සහිත සර්ප ගණ­යට. කුණ­ක­ටු­වෙක් දෂ්ට කළාම මැරෙන්නේ නැහැ. ඒත් වකු­ගඩු අක­ර්මණ‍ය වීම වගේ අතුරු ආබාධ ඇති වෙනවා. ඒනිසා කුණ­ක­ටු­ව­න්ටත් උග්‍ර විෂ සහිත සර්ප කොට්ඨා­ස­යට උස­ස්වී­මක් දෙන්න වේවි“ යනු­වෙන් මහා­චාර්ය එස්.ඒ.එම්. කුල­රත්න පැව­සුවේ සිනා­සෙ­මිනි.

“විෂ­ඝෝර සර්පයා - අත නෑර මෝඩයා“ යන ජන­ව­හ­රට අනු­ගත වෙමින් සර්ප­යන් මරා දමන අයගේ ඊළඟ ප්‍රහා­රය කුණ­ක­ටු­වන්ට ද එල්ල විය හැකිය. එහෙත් පරි­ස­රයේ සම­තු­ලි­ත­තාව රැක ගැනීම සඳහා සර්ප­ය­න්ගෙන් ඉම­හත් සේවා­වක් සැල­සෙන බව ද අප අම­තක නොකළ යුතුය.
සිලුමිණ

No comments:

Post a Comment