මෙතෙක් කලක් මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට කිසිම ඉඩක් නොතිබු බවත්, ගණිතය අසමත් නම් ජීවිතෙත් අසමත් යන්න මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබූ බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ප්‍රතිපත්තිය වෙනස් කළ බවත් විදුලිබල ඇ
මැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ හාලිඇල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගිය 19 වැනිදා පැවති 'දැයට එළිය' ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
'ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොහෝ ප්‍රශ්න දෙස බලන්නේ වෙනස්ම කෝණයකින්. දේශපාලනඥයෙක් නොවන නිසාම අප කවුරුත් නොදකින පැති ඒ මහතා හඳුනාගන්නවා. මෙතෙක් කලක් සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට මේ රටේ රාජ්‍ය සේවයේ කිසිම ඉඩක් තිබුණේ නෑ. ගණිතය අසමත් නම් ජීවිතෙත් අසමත්. රටේ රාජ්‍ය ප්‍රතිපත්තියවී තිබුණේ එයයි. ජීවිතේ පාස් වෙන්න ඕනෑ නම් ගණිතය සමත් වෙන්න ඕනෑ. ඒත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ප්‍රතිපත්තිය වෙනස් කළා. ගණිතයත් සමඟ සාමාන්‍ය පෙළ අසමත් දූ පුතුන් ලක්ෂයකට රජයේ රැකියා දුන්නා.
අනෙක් කණ්ඩායම අඩු ආදායම්ලාභීන්. රටේ පුරවැසියන් කණ්ඩායමක් අඩු ආදායම්ලාභීන් බවට පත් වෙනවා නම්, එහි වරද ඒ අයගේ නොවේ. ඒ අයගේ මවුපියන්ගේත් නොවේ. මේ රටේ අසම්මත දේශපාලන, සමාජ, අධ්‍යාපන ක්‍රමයේ ප්රතිඵලයයි ඒ.
අප ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට සිටින්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කියලයි ජනතාවත් මාධ්‍යයත් හිතන්නේ. ඒත් දේශපාලනඥයා සිටින්නේ ප්‍රශ්න විසඳන්න නොවේ. ඒකට තමයි නිලධාරීන් ඉන්නේ. දේශපාලකයන් ඉන්නේ ප්‍රශ්නවලට හේතුව සොයන්න. ප්‍රශ්නවලට මුල්වන හේතු සොයා ඒ හේතු ඉවත් කරන්න. මේ අප එක හේතුවක් ඉවත් කරන අවස්ථාවක්. ඔබට පටබැඳී තිබූ අඩු ආදායම්ලාභී කියන විශේෂණය ඔබේ දරුවාට පලඳන්න අපේ රජය ඉඩ තියන්නේ නෑ. මේ වැඩපිළිවෙළ යටතේ අප සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 8000කට පමණ විදුලිය දෙනවා. එහිදී ඔබගේ ජාතිය, ආගම, පක්ෂය කුමක්ද සොයන්නේ නෑ. කාටද ඡන්දය දුන්නේ කියන එක ඊට අදාළ නෑ. රුපියල් මිලියන 700ක් ඊට වෙන් කර තිබෙනවා. ඒත් එය ප්‍රමාණවත් නෑ.
විදුලිබල මණ්ඩලයට කවදාවත් හොඳක් අහන්න වෙන්නේ නෑ. හරියට පාර්ලිමේන්තුව වගේ. දේශපාලකයන් වගේ. කාටුන් ශිල්පීන් අපව අඳින්නේ නීල කාස හොරු විදිහට. පට්ට හොරු විදිහට. අලි බඩකුත් එක්ක අඳින්නේ. ඔවුන්ට දොස් කියා පලක් නෑ. ඒක තමයි ජනතාවගේ මතය. ඒ අපේ සේරම හොරු නිසාද? නෑ. අපේ ගෝත්‍රයේ, අපේ රැහේ කිහිප දෙනෙක් කරන වැඩ නිසයි එහෙම මතයක් සමාජගත වෙන්නේ. විදුලිබල මණ්ඩලයේත් ඒ වගේ සුළු පිරිසක් ඇති.
විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 65යි. විදුලිය එක ඒකකයක් නිපදවන්න විදුලිබල මණ්ඩලයට රුපියල් 23යි ශත 87ක් වැය වෙනවා.ඒත් මේ ලක්ෂ 65ටම විදුලිය දෙන්නේ එක ඒකකයක් රුපියල් 16 ගාණේ. එක ඒකකයකින් රුපියල් හතක පාඩුවක්. ඒ වගේ ඒකක බිලියන 16ක් අවුරුද්දකට දෙනවා. ඉතින් විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ නැද්ද? අඩුපාඩුකම් තිබුණත්, වැරදි තිබුණත් ජනතාව වෙනුවෙන් කරන මේ කැපවීම අප අගය කළ යුතුයි. ස්ථාවර විදුලිය අඛණ්ඩව අඩු මිලකට සැපයීමයි අපේ ඉලක්කය.
2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොරොච්චෝලේ විවෘත කරද්දී සියයට 25කින් අඩු කළ විදුලි බිලයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ. 2030 වන විට ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය නිපදවීම සියයට එකක් දක්වා අඩු කරන්නයි අපේ බලාපොරොත්තුව. ඩීසල් සහ දැවිතෙල් ක්‍රමයෙන් ඉවත් කරමින් පළමු පියවරේ ස්වාභාවික වායූන් වෙත යොමු වන අප අනාගතයේ සූර්යා, සුළඟ සහ ජලය පිළිබඳව විශ්වාසය තබනවා. අපේ අනාගතය තීරණය වන්නේ මේ පුනර්ජනනීය බලශක්ති මතයි.'
කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද,ද ප්‍රතිලාභී ජනතාව ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රතිලාභී හිමිකම් පත් සහ ප්‍රතිලාභීන්ට එල්. ඊ. ඩී. බල්බ බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
No comments:
Post a Comment