බටහිර අප්‍රිකාවේ, ගිනියාවේ රාජ්‍ය බලය හමුදා කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබෙනවා. එරට ජනාධිපතිවරයා ව සිටි ඇල්පා කෝඩේ බලයෙන් පහකළ බව එම හමුදා ඒකකය නිවේදනය කළා.
මේ වනවිට එරට තුළ දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි ගිනියාව. එය අන්ලන්තික් සාගරයට ද මායිම් රටක්. ගිනියාවේ හමුදාව ජනාධිපති මන්දිරය වටලා, ජනාධිපති ඇල්පා කෝඩේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි එරටින් වාර්තා වන්නේ. හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූයේ කර්නල් මෙමඩේ ඩොම්බුයා යි. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින්, කර්නල් ඩොම්බුයා කියා සිටියේ ඒකීය හමුදා රජයක් පිහිටවමින් තමන් ජනාධිපති ලෙස කටයුතු කරන බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවමින්, ව්‍යවස්ථාව අහෝසි කරන බවත් ඔහු කියා තිබුණා. කුමන්ත්රණයෙන් පසු හමුදාව නිවේදනය කර ඇත්තේ, ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් ඉහළ පරිපාලකයින් වෙනුවට හමුදා නිලධාරීන් පත් කරන බවයි.
ජනාධිපති ඇල්පා කෝඩේ සහ රජය ගෙන ගිය පාලනය ජනතා හිතවාදී එකක් නොවන බවත්, දිනෙන් දින රටේ දේශපාලනික අර්බුද උත්සන්න වී, දූෂණය ඉහවහා ගොස් ජනතාව දරිද්‍රතාවයෙන් බැට කෑ බවත් කර්නල් මෙමඩේ ඩොම්බුයා ජනතාව අමතමින් කියා සිටියා. ජනතාව තව දුරටත් පීඩාවට පත්වීම තමන්ට බලා සිටිය නොහැකි හෙයින්, තමන් රටේ බලය අල්ලා ගත් බව කර්නල් ඩොම්බුයා හමුදා කුමන්ත්‍රණය සාධාරණීකරණය කරමින් පවසනවා.
ගිනියාවේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, කනස්සල්ල පළ කර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් එරට හමුදාවට පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් ජනාධිපති ඇල්පා කෝඩේ වහා නිදහස් කරන ලෙසයි. කර්නල් මෙමඩේ ඩොම්බුයා, ගිනියා හමුදාවේ විශේෂ බලකා සොල්දාදුවෙකි. ප්‍රංශ යටත් විජිතයක් ලෙස පැවැති සමයේ, ප්‍රංශ හමුදාවේ ඉහළ නිලධාරියකු ලෙස ද මොහු කටයුතු කළ බව කියනවා.
ස්වාභාවික සම්පත් රැසකින් පොහොසත් වුවත්, වසර ගණනාවක් තිස්සේ දේශපාලනික අර්බුද සහ ආර්ථික අර්බුද පැවති ගිනියාව එම සම්පත් නිසි පරිදි කළමනාකරණයක් සිදු නොකළ රටක් ලෙසයි සඳහන් වන්නේ. සම්පත් පිරි ගිනියාව අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ ම දුප්පත් රටක් ලෙසයි සැලකෙන්නේ.
ගිනියාවේ ජනප්‍රියතම සංචාරක ආකර්ශණය ලෙස සැලකෙන්නේ නිම්බා කඳුකර වන රක්ෂිතයයි. අප්‍රිකාවට පමණක් අවේණික සත්ව සහ ශාක විශේෂ රැසක් මේ වනයේ දකින්න ලැබෙනවා. ගිනියාවේ අගනුවර වෙරළාශ්‍රිතව පිහිටි කොනාකී නගරයයි. ෆ්රෑන්ක් යනු ගිනියාවේ මුදල් ඒකකය යි. 2019 ලෝක බැංකු වාර්තා අනුව, ගිනියාවේ ජනගහනට මිලියන 12.77ක්. ප්‍රංශ භාෂාව එහි නිල භාෂාවයි.
No comments:
Post a Comment