අම්පාර මිනිස්සුන්ගේ දුක සැප, සතුට කඳුළ හැම දෙයක්ම දන්න අයෙක් අම්පාර වැව. මේ වැවෙන් නගරයට එක්කරන චමත්කාරයත් සමග ලැබුනු නවජීවය කිසිකෙනෙකුට අමතක කරන්න බෑ.
සිංහල ගීත සාහිත්‍යයේ මහා සේවයක් කල #සුනිල් #සරත් පෙරේරානම් මහා ගීත රචකයාද අම්පාර වැව අසල මේ චමත්කාරයා අත්වින්දා ඔහු විදි චමත්කාරය ඔහුගේම බසින් කියනවනම්,
"දහවල ගිනියම් වුණු දිගාමඬුලු දනව්වේ මනරම් සැදෑ සිරිය අපූරු චමත්කාරයක් මවයි. සැදෑහිරු රැස් වතල ඌවේ කඳු පෙළ අම්පාර වැව් දියේ පැටවුන් සමඟ දිය කෙළිනා අලි ඇත්තු රම්‍ය භූමියේ සැදෑ අසිරිය දෙගුරු තෙගුණ කරති. මෙම චමත්කාරය වසර ගණනක් ගියත් මට අමතක නොවෙයි. ඒ චමත්කාරයෙන් දැල්වුණු හද පබඳ පද පබඳක්ව ගෙතුනේ මේ අයුරිනි.
ඌවේ කඳු පෙළ නිලට නැමීලා
අඹ ආරේ වැව ඉස්මත්තේ
දිගාමඩුල්ලේ අසිරිය මතුවේ
වටමලු මහ දාගැබ් අතරේ
වෙල්ලස්සේ රණ ගීයට පණ දී
ගල ඹය දියවර ගෙනෙන බිමයි
වද කඳු බැඳලා ඒ මහ දිය කඳ
සමුදුර සේ සිර කෙරුණ බිමයි
දැයට ම අපගේ ජීවය සඳහා
දිගාමඬුලු කෙත්වල නිල්ලයි
විල වැව වන හිස අසපුව අද වුව
අලි ඇතුනගෙ පෙම් ඕවිල්ලයි"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සම්බන්ධ වුනත් ගුවන් විදුලියේ වැඩකරනවා චෝදනාව මත අම්පාරට මාරුකර එවනවා. අම්පාරට පැමිනි සුනිල් සරත් පෙරේරා එවකට අම්පාර දිසාපති ආරියරත්න මහතාගේ නිවසේ නවාතැන් ගන්නවා. විවාහ වී දරුවෝ සිටි ඔහු ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් ගතකළා.
ඔහු එදා ගතකල ජීවිතය ඔහුගේ වචනයෙන්ම මෙසේ දිනමිණ පුවත්පතට මෙසේ පවසා තිබුනා.
"අම්පාර නගරෙයේ සිට උහන පාරේ යන විටත් ගල් ඔය දෙසට මහ පාරේ යන විටත් අඹාර (අම්පාරෙයි) වැවේ දිය කෙලිනා වල් අලි අද වුවද දැක ගත හැකි ය. එගොඩ වන ගැබේ සිට මෙගොඩ වක්කුලම දක්වා පැටවුන් සමඟ පිහිනා යන වල් අලි රංචුව සොබා දහම අපට උරුම කළ අගනා දායාදයක් බඳු ය.
නගරයක වල් අලි දැකිය හැකි මෙම සොබා සිරිය කෙටි කාලයක් ඇතුළත වියැකේදෝයි සැකයක් ඇති වෙයි. මෙම ආශ්චර්ය සියල්ල තවත් සීමා සහිත කාලයෙකින් අනතර්ධාන වන්නේ ය යන්න දිගාමඩුල්ලේ ආශ්චර්ය නමැති පොත ලියූ මායාරන්ජන්ද තම පොතෙන් පෙන්වා දුනනේ 1957 දී පමණ ය.
පරපුරක වාසනාවට එය මේ දක්වා රැකුණත් කොණ්ඩ වටවාන සිට වන ගැබ ඔස්සේ වැටී ඇති අලි පාර මහ පාරක් බවට පත් වූ දාට නිතර දෙවේලේ දකින වල් අලි මෙන් ම වැව පෝෂක ප්‍රදේශයේ දිය කඳුරු ද ඉතාමත් නුදුරු දිනෙක අපෙන් සමු ගනු නියත ය.
මා අම්පාරේ රැකියාව කරන දවස සවස් යාමයේ යාළුවන් කීප දෙනෙකු සමඟ අලි ඇතුන් නැරැඹීමට යෑම පුරුද්දක් කර ගතිමි. එවකට අම්පාර මැතිවරණ සහකාර කොමසාරිස්ව සිටි අශෝක පීරිස් සහ කච්චේරියේ ගණකාධීකාරී ගුණරත්න යන මිතුරෝ බයිසිකල්වල නැඟී අලි බලන ගමනට එක් වූහ.
උහන පාරේ පොලිස් අභ්‍යාස විද්‍යාලය අසලින් වැටී ඇති අඩි පාර දිගේ සැදෑ චාරිකාව අරඹන්නෙමු. වැව්පිටියේ නිදැල්ලේ තණ කන හරකුන් දක්කා ගෙන නිවෙස් බලා යන ගැමියන් මෙන් කැලෑවේ දරට ගිය කාන්තාවෝ ද මෙහි දී ඉද හිට මුණ ගැසෙති. මිටි පඳුරින් යුත් නිසරු වැලිබිම ගමනේ පළමු හමු වන බිම් කඩයි. අඩිපාරේ මඳක් ඔබ්බට ගිය විට දකුණතින් පෙනෙන්නේ අඳුරු වන ගැබයි.
වැසි දවස මෙම වනපෙත්වල ඉතිරි කළ දිය ගෙන එන දිය කදුරු අප යනෙන අඩි පාර ද තෙත් කර අම්පාර වැවට අලසව ගලා බසී. මෙම දිය සීරුව උහන පැත්තෙන් ගලා එන්නකි. සංවර්ධනයේ නාමයෙන් මෙ අඩිපාරට තාර වැටුණොත් අම්පාර වැව ද පෝෂණය කරන මෙම දිය මඟ ඇහිරෙනු නොඅනුමාන ය.
අඩි පාර ඔස්සේ තවත් මද දුරක් ගිය විට හමුවන්නේ වැව් තාවුල්ලයි. වැව්තාවුල්ල පිහිටි පෙදෙසේ පාරට වැටී තිබුණ මයිලගහකට අලියෙක් මුවා වී සිටිනු අප කිසිවකුටත් නොපෙනිණි. ඉදිරියෙන් බයිසිකලය පැද වූ අශෝක අලියා දුටු සැණින් බයිසිකලයේ තිරිංග තද කර නවතා ගැනීමට උත්සාහ දැරී ය. එසැණින් නැවතුණ අශෝකගේ බයිසිකලය හා මගේ බයිසිකලය ගැටෙනවාත් සමඟ මර හඬ දුන් අලියා කර කියා ගත හැකි කිසිවක් නොදැන බිය පත්ව වැව්තාවුල්ල අද්දර ඇති කුඹුක් ගසක් තෙක් දිව ගොස් ආපසු හැරී අප සිටි තැනට දිව ඒමට සැරසුණි. අපට කළ හැකි දෙය වූයේ දකුණපස පිහිටි කටු ලැහැබ් පිරි වන ගැබට රිංගීම පමණි.
තනි අලියා මඟ හැර ගියාට පසු කොණ්ඩවටවාන හාඩි විද්‍යාලය දෙසට බයිසිකල් පැදවීමු. හාඩි විද්‍යාලයේ කම්කරු නිවාසවලට ඔබ්බෙන් පිහිටි 'අලිගල' ට නැඟ ගත් පසු අලි රංචුව බොහෝ විට දැක ගත හැකි ය. අලි බලන බැලුම්ගල ලෙස කාලාන්තරයක් තිස්සේ මෙය ප්‍රසිද්ධියට පත්ව ඇත. අලිගල කොණ්ඩවටවාන වැවට පාත්වෙයි. මෙය ගල්ඔය අභය භූමියට මායිම් වූවකි.
අලි රංචුව අලිගල අසල සිටින බව බොහෝ විට දැන ගැනීමට ලැබෙන්නේ කැලේ භාෂාවෙන් කියවෙන බඩගොරවන සද්දෙනි. 'ගර්ර්' යනුවෙන් ඇදෙන මෙම ශබ්දය 'බඩේ සද්දේ' යන වහරින් ද හැඳින්වෙයි. මෙම ශබ්දයට බඩේ සද්දෙ ලෙස දැක් වුවද එය උගුර හරහා නික්මෙන්නකි.
අලි ඉන්නා කැලෑවට ගිය විට වල් අලි ඉන්නා ඉසව්ව අලි ගඳෙන් ද දැක ගත හැකි ය. අලි ගඳ ඇෙඟන් නිකුත් වන්නකි. වසුරුවලින් (අලි බෙටිවලින්) ද මෙම ගඳ වහනය වෙයි.
අලි මද කිපෙන කල නිකුත් වන මද ස්‍රාවයෙන් ද අලියා ළඟ පාතක සිටින බවක් දැක ගත හැකි ය. මද ඇතුනගේ කණ නා ඇහැ ඇතර ඇති විවරයෙන් (කපුවල ග්‍රන්ථියෙන්) මෙම මද ස්‍රාවය නිකුත් වෙයි.
අලින්ගේ දුර පෙනීම දුර්වල ය. අලියාගේ දුර පෙනෙන තෙක් මානය අඩි 50 සිට අඩි 60 දක්වා සීමාව ඇතුළත පවතී. නොසෙල් වී සිටීමෙන් අලියාගේ ඇස් දෘෂ්ටියෙන් මිදී සිටීමේ හැකියාව ඇත. කැලෑ වැදුණු අප වල් අලින්ගෙන් කීප විටක් ම බේරුණේ නොසෙල් වී සිටීමෙනි.
වෙහෙරගොඩැල්ල වැව අසල පිහිටි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන භූමියකි. මෙම ස්ථානයේ ගල් කණුවල කබලි, පැරැණි ගඩොල් හා උළු කෑලි පමණක් දක්නට ලැබේ. මෙල් ගල් ලෙනක් ද ඇත. අලිගල අවට වන ගැබ පලු, වීර, ඇටඹ, කරඹ, එරමිණියා වැනි පලතුරුවලින් ද බිං කොහොඹ, පිල වැනි වන ඔසුවලින් ද ගහන ය.
අතු ඉති බිඳිමින් වරෙක කුංචනා කරන වල් අලින් මැද ගත කරන කාලය ත්‍රාසයෙන් පිරුණු එකකි. හාඩි කම්කරු නිවාස ගෙවතුවල බවබෝග විනාශ කරන තනි අලියකු එලවීමට ගන්නා තැත ඝෝෂාවක් බවට පත්වෙයි. මෙම ඝෝෂාව අතර වැව ඉස්මත්තට ඉගිල යන කිරලකුගේ විලාපය ද වන ගැබ බියකරු බව වැඩි කරයි.
ඝනඳුර වැටෙන්නට පළමු අලි ගලෙන් නික්ම යා යුතු ය. හාඩි කම්කරු නිවස බිම් පෙත පසු කළ විට හාඩි නිලධරු නිවාස හමුවෙයි. කොණ්ඩවටවාන වැවේ වාන් දියවර අම්පාර වැවට ගෙන එන ඇළ මාර්ගය අසල පිහිටා තිබෙන්නකි.
නිවාස වෙත ඇදෙන වැලිපාර අද්දර පිහිටි ලොකුකැටගොඩ මහතාගේ නිවස අපේ සරතැස නිවාලන තවත් නැවතුමකි. අලි පාරේ ම නිවෙසක ලොකුකැටගොඩ මහතා අලින්ගේ විත්ති රසකර කීමට රුසියෙකි. අඳුර වැටුණ පසු හාඩි නිවෙස්වල වෙසෙන්නෝ පාර තොටට නොබසින්නේ අලි උවදුරට බියෙනි. සෑම සවසකම හාඩි නිවාස ඉදිරිපිටින් අලි රංචුවේ ගමන යෙදේ. තනි අලියා මෙන් ම වැසි සමයේ අලි පනහක හැටක රංචුවක් ද මෙම මාර්ගයෙන් කොණ්ඩවටවාන දෙසට ගමන් කරයි. ගල්ඹය සංවර්ධන වැඩපිළිවෙළ සැලසුම්වලට අනුව කැලෑ කුට්ටි අලිමංකඩ ලෙස ඉතිරි කර තිබූ බව පැරැන්නෝ කියති. හඩා කොණ්ඩවටවාන ඔස්සේ ගල්ඹය මෙන් ම වැව්ගම්පත්තුව යටි පළාතේ එක්ගල්ඔය, පල්ලම් ඔය දක්වා අලින්ට නිදැල්ලේ සැරි සැරීමට ඉඩකඩ පැවතුණි. අලිමංකඩවල් දැමීම නිසා වල් අලි ගම්වැදීම හා අලි මිනිස් ගැටුම ද බහුලව මේ පෙදෙස්වල බහුලව දැක ගත හැකිය. හාඩි විද්‍යාලය අසල කුඹුරු කරන්නට කුඹුරු යායට මෙන් ම මුස්ලිම් ගොවියන්ගේ පරවේනි ඉඩම්වලට ද වැදෙන අලි එලවල ඝෝෂාව කොණ්ඩවටවාන වාරිමාර්ග ස්මාරක බංගලාවේ සිටි අපට එක් දිනක එළිවෙන තුරු අසන්නට ලැබිණ. අපගේ වල් අලි සොයා යෑම ඝනඳුර වැටුණ විට අම්පාර ටවුමෙන් අවසන් වෙයි.
අලි බලලත් බලි බලලත් ඉවරයක් නැති බව ජනවහරේ එන කියමනකි. හැමදාකම සැදෑ සමයේ අම්පාර වැව් තාවුල දිගේ කොණ්ඩවටවානටත් අලි නිතර ගැවසෙන ගුවන් තොටුපළ පාරේ ද මා සැරිසැරුවේ ත්‍රාසය මුසු අත්දැකීම් ලබන රිසියෙනි."
සුනිල් සරත් පෙරේරා ශූරීන්ගේ නෙත ගැටුණු තැන් වර්ථමාන චායාරූප මෙහි ඇත.
Galoya News
No comments:
Post a Comment