Friday, October 15, 2021

අම්පාර වැව වටා පුරාවිද්‍යා බිම්.. සාමපුර අලි ගල



අම්පාර සාමපුර ප්‍රදේශයේ, හාඩි ආයතනයේ අතහැරදමා ඇති නිල නිවාස අසල පිහිටි මේ අලිගල පුරාවිද්‍යා භූමියකි. කලකදී ගල් කොරියක් සදහා මෙම ස්ථානය භාවිතා කොට ඇත. මෙම ගලට පිවිසෙන ස්ථානයේම විශාල කොන්ක්‍රීට් කණු 2කි. 

කටුපඳුරු වල්ගස් අස්සේ සැගවී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැමූ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ සලකුණු සහිත ගල් ඇත. අඩි 06ක් පමණ උස ගලට නැගීමට කැපූ ගල් පඩි කිහිපයකි.
වම්පසට වන්ට නිදන් හොරුන් කඩා දැමූ ගල් පියනකි. පඩිපෙළ නගින විට වම්අත කුඩා පොකුණකි. ගල්තලාව දෙස හොදින් බලා සිටියොත් මේ ගල් මත ලියැවුන බ්‍රාහ්මීය අක්ෂර පෙළකි. මේ සෙල්ලිපියේ අර්ථ විවරණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සිදු කොට ඇත්දැයි නොදනිමු. සෙල් ලිපි දෙකක් හොදින් නිරීක්ෂණය කිරීමෙන් මෙහි දැකගත හැකි අතර එක ලිපියක් විනාශවෙමින් පවතී. හොදින් නිරීක්ෂණය කලහොත් කුඩා ආරාමයන් පැවති ස්ථානයක් ලෙස මෙම ස්ථානය හදුනාගත හැකිය. වැව වටා ඇති පැරණි පුරාණ පන්සල මැදිව මෙවැනිම ස්ථානයක් කරංගාව පැත්තට වන්නට තිබේ. 
ගල්ඔය ජනපදයේ මුල් යුගයේ අම්පාර නගර සභා සේවකයින් මෙම ස්ථානය මුලින්ම පුරාණ ස්ථානයක් ලෙස හදුනාගත් බවක් ගම් වාසීන් පවසයි. මෙහි තිබී බුදු පිළිමයක් ලබා ගත් අයෙකුට සිදුවූ දේ අම්පාරේ පරණ මිනිස්සු දනිති. 
අම්පාර වැව ආශිත සියලු පුරාවිද්‍යා බිම් මේ වන විට විනාශ මුඛයට පත්ව අවසන්. අම්පාර වැවෙන් එපිට ගොඩනැංවෙන මේ අලංකාර නගරයේ සුන්දරත්වය නරඹමින් පැවති පෞඩ ඉතිහාසය සැඟවෙමින් පවතී. පැවති පෞඩ ඉතිහාසයත් නූතනත්වයත් මුසු කල සංවර්ධන මාවතක් ගැන නොසිතන බොහෝ අයට මේ පුරා වස්තු කරදරයකි.  අම්පාර වැවෙන් මතුවූ පුරාවස්තු කොන්ක්‍රීට් දමා යට කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වරක් ක්‍රියා කරණ ලදි. අම්පාර වැවත් කොණ්ඩුවටාන වැවත් අතර පිහිටි විශාල බෞද්ධ ආරාම සංඛීර්ණය නිදන් හොරුන්ගේම පරීක්ෂණ නිරීක්ෂණ නිගමන යටතේ බලා ගන්නා බවක්පෙනී යයි. අම්පාර නගරයට අයිති අම්පාර වැවේ සාමපුරත් කරංගාවත් අතර පිහිටි පුරාණ විහාරය මේ වන විට විනාශ මුඛයටම පත්ව ඇත. කරංගාවට ආසන්න පුරාවිද්‍යා සාධක සහිත ගල් තලාවේ නිධාන්යැයි හැගෙන ගල්පියන කඩා ඇත. දැයට කිරුළට කෝටි ගනන් වියදම් කරමින් වැව වටා  ඉදිකල මාර්ගය මුදල් නාස්තියක් පමණකි. අම්පාර අලිගල පුරාණයේ බෞද්ධ සිද්දස්ථානයක් පවතිද්දී මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ එක්කෝ ළඟ පිහිටි ගමකට පිණ්ඩපාතයේ වඩිමින් හෝ දානය මෙතැනටම ගෙනැවිත් දෙන ක්‍රමයකින් ආහාර ලබාගන්නට ඇත.  වැව ඇත පන්සල ඇත. ගමද එසේනම් මේ ලගමය. මේ දිවයිනේ සෑම බිම් අඟලකම ලියැවුන බෞද්ධ ශිෂ්ඨාචාරයේ සෙවැනලි වත්මන් බෞද්ධයන්ට මහත් ප්‍රබෝධයකි.
Galoya News 
#Galoya #News #ගල්ඔය #අම්පාර #අලිගල #සාමපුර #පුරාවිද්‍යා #අම්පාරවැව #Ampara

No comments:

Post a Comment