Thursday, January 12, 2023

මුහුදු මහා විහාරයේ නිධන් කොල්ලකෑ මුස්ලිම් ජාතිකයා



රුපියල් කෝටි 100කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද කුඩා චෛත්‍යයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.


පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතයේ නිධානයක් හාරා ගොඩ ගත් බව කියන මේ චෛත්‍යය කිලෝ 25ක් පමණ බරකින් යුක්ත වන අතර මැණික් ඔබ්බවා කළු ගලින් නිම කර තිබේ.

නිධානයකින් ගොඩ ගත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි කියැවෙන චෛත්‍යයක් රුපියල් කෝටි 100කට අලෙවි කිරීමට පිරිසක් ගනුදෙනුකරුවන් සොයමින්

සිටින බවට මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කර වේයන්ගොඩ පොලිස් වසමේ පිහිටි යටගම සෙන්ට්‍රල් පාර්ක්හි පිහිටි නිවෙසක් වටලා කළ පරීක්ෂාවකින් පසු මේ චෛත්‍යය සොයාගෙන තිබේ. එම අවස්ථාවේදී නිවෙසේ රැඳී සිටි තරුණයන් දෙදෙනකුවද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එක් සැකකරුවකු වන්නේ එම නිවෙසේ පදිංචිකරුවකු වන ඩී.ඒ.එච්.ටී. සමරකෝන් නමැති 22 හැවිරිදි අයකු වන අතර අනෙක් සැකකරු වන්නේ අඹකොටේ කෙන්ගල්ලේ පදිංචිකරුවකු වන කේ. රුජේන්ද්‍රන් නමැති 34 හැවිරිදි අයෙකි. මේ චෛත්‍යය අලෙවි කිරීමට ගැනුම්කරුවන් සහ තැරැව්කරුවන් සොයමින් සිට ඇත්තේ මේ සැකකරුවන් දෙදෙනා බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකාය මේ නිවෙස වටලන විට චෛත්‍යය තිබී ඇත්තේ නිවෙසේ මුළුතැන්ගෙයි මේසයක් මතය. එහි කහ ගල්වා තිබී ඇත. ඒ ගැන කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ වස්දොස් යන්නට එසේ කහ ගල්වන බවකි. අත්අඩංගුවට ගත් 22 හැවිරිදි සැකකරුගේ මව පේන කියන තැනැත්තියක බව පොලිස් විශේෂ කාර්ය බළකායට පෙනී ගොස් ඇත. වැටලීම කරන විට ඇය නිවෙසේ සිට නැත. ඇය නිවෙසට පැමිණ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් නිවෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන චෛත්‍යය සිය භාරයට ගැනීමෙන් අනතුරුවය. චෛත්‍යයේ ගර්භය තුළ ධාතූන් වහන්සේලා ඇති බව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පවසා ඇත්තේ ඇයයි. ඇය පවසා ඇත්තේ තමාට ඒ බව පෙනෙන බවකි. මේ කාන්තාවත් ඇගේ සහෝදරයාත් නිදන් හෑරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටින්නියක බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

මේ චෛත්‍යය වටා මැණික් ගල් පහක් ඔබ්බවා ඇති බවත් එහි ඇති කුඩා සිදුරු අස්සේ දඹ රන් බවට සැක කළ හැකි බුදු පිළිමයක් දකින්නට ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. මේ චෛත්‍යයේ වට ප්‍රමාණය සෙන්ටිමීටර 76ක් වන බවත් උස සෙන්ටිමීටර 37ක් වන බවත් බර කිලෝ 25ක් පමණ වන බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ අඹකොටේ පදිංචි රුජේන්ද්‍රන් නමැති අයට මඩකලපුවේ පදිංචි මොහොමඩ් නමැති අයකු මඟින් මේ චෛත්‍යය ලැබී ඇති බවය. නිදන් ජාවාරම් හරහා මේ අය එකිනෙකා අතර සම්බන්ධකම් ගොඩනඟාගෙන තිබෙන බවත් ත්‍රිරෝද රථයකින් මඩකලපුවට ගොස් පසුගිය දෙසැම්බර් 14 වැනිදා මේ චෛත්‍යය වේයන්ගොඩට රැගෙන පැමිණි බවත් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා තිබේ.

තමන්ට මේ චෛත්‍යය දුන්නේ අලෙවි කර මුදල් දීමේ පොරොන්දුව මත බවත් මුහුදු මහා විහාර භූමියෙන් මෙවැනි චෛත්‍යය 04ක් ගොඩගෙන ඇති බව මොහොමඩ් නමැත්තා පැවසූ බවත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. මේ සැකකරුවන් දෙදෙනා චෛත්‍යයද සමඟ වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන තිබේ. මේ චෛත්‍යය සැබෑ ලෙසම මුහුදු මහා විහාරය හා සම්බන්ධකමක් තිබේදැයි කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ගැනීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු කරනු ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. මේ චෛත්‍යය රුපියල් කෝටි 100කට අලෙවි කිරීමට සැකකරුවන් ගනුදෙනුකරුවන් සොයා ඇතත් එවැනි වටිනාකමක් මෙහි බැලූ බැල්මට පෙනෙන්නට නැති බවත් මේ වස්තුව පෞරාණික එකක් නම් ඇත්තේ පෞරාණික වටිනාකමක් පමණක් බවත් විශේෂ කාර්ය බලකායට පෙනී ගොස් ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි හා මෙහෙයුම් ප්‍රධානී සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මඟපෙන්වීම මත විශේෂ මෙහෙයුම් අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර මෙන්ඩිස්, පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කරන ලදි.

මේ සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (10) නියෝග කළේය.
#galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment