Sunday, January 22, 2023

කොළඹ ටෙනිස් අම්පාරට ගෙනා නියෝජ්‍ය පොලිස්පති


කොළඹ ටෙනිස් අපට ගෙනා
නියෝජ්‍ය පොලිස්පති ........
මීට මාස හතරකට කලින් අම්පාරට අලුතින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්වී එනවා. හැමදාමත් වගේ නියෝජ්‍ය පොලිස්පති වරුන් අම්පාරට කොපමණ ආවත් එය අපට එතරම්

 විශේෂ කාරණයක් නොවන්නේ ඔවුන් පොලීසියේ පරිපාලන කටයුතුවලට හැර සාමාන්‍ය ජනතාව සමග නොගැටෙන චරිත නිසයි. හැබැයි මේ පාර ආවේ අතිවිශේෂ පුද්ගලයෙක් බව පත්වී අම්පාරට පැම්ණි පලමු සතිය ගතවෙන්න මත්තෙන් හැමෝටම වැටහෙන්නට වුනා. හම්බවෙන හැමෝටම ඉතාමත් ආදරයෙන් අමතන, සෑම විටම සිනහ මුසු මුසු මුහුණෙන් සිටින, කතා කරන හැමෝටම "තෙරුවන් සරණයි" කියා ආශිර්වාද කරන මේ නිරහංකාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පරිසරයට බෙහෙවින් ආදරය කරමින් අම්පාර නගරය පුරාවට සෙවණ උදෙසා රුක් රෝපණය කිරීමට පලමුව පියවර ගත්තා. එතනින් නොනැවතී බඩ ගින්දර තදින්ම දැනෙන කාලෙක අම්පාරේ කාගෙවත් අවදානය යොමු නොවෙන බක්මිටියාව , මංගලගම වගේ ඈත එපිට දුෂ්කර ගම්මානවල පැල්පත්වලට ඉටුදෙවියෙක් වගේ ගිහින් ආහාර සහ අනෙකුත් අවශ්‍ය දේවල් අරන් ගිහින් දුන්නා.සෑම ගෙදරකම කුස්සියේ බත් හට්ටියටම එබිලා ඔවුන්ගේ බඩ ගින්දර නිවාලන්නට උදව්කලා, පාසල් යන්න බැරි අසරණ දරුදැරියන්ට පොත්පත් අරන්දෙන්න , ක්‍රීඩා උපකරණ අරන් දෙන්න, කටුමැටි අසරණ පවුල් ඉන්න ගෙවල් වලට අලුත් ගෙවල් හදලා දෙන්න අලුතින් අම්පාරට ආපු නියෝජ්‍ය පොලිස්පතිතුමා තමන්ගේ කොලඹ හිතවතුන්ගේ උදව් අරගෙන වැඩ ආරම්භ කළා.

පසුගියදා සමස්ත ලංකා වොලිබෝල් ශූරියන් වූ උහන තිස්සපුර විද්‍යාලයේ කණ්ඩායම් තුනේම දියණියගේ අවසාන මාස 2 තුල පෝෂණ අවශ්‍යතා, තරග පැවැත්වෙන කාලයේ කෑම බීම, තරගයට අවශ්‍ය සපත්තු හිතවතුන්ට කතාකර ලබා දී ඔවුන්ගේ රටේම අවදානය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේත් එතුමන්‍ ය.

ඉන් අනතුරුව අම්පාර ප්‍රදේශයට සිහිනයක්ව පමණක් වී තිබු අගනුවර සල්ලි කාරයින්ටත් ඔවුන්ගේ පවුල්වල පමණක් වෙන්වී තිබූ ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කිරීමට එතුමා තීරණය කලා. ඒ එතුමා දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු නිසාවෙන් සහ ටෙනිස් වලට දක්වන අසීමිත ආදරය නිසාවෙනි. අම්පාර දිස්ත්‍රික්කයේ 450 අධික පාසල් අතර කිසිම පාසලක ටෙනිස් ක්‍රීඩා කරනවාවත් දැක නැති මොහොතක දමයන්ත මහතා පලමු ක්‍රීඩා පිටිය සෑදීමට ඩී එස් සේනානායක ජාතික පාසල තෝරාගන්නේ විශේෂයෙන් අම්පාරේ ඇති එකම ක්‍රීඩා පාසල එහි පැවැතීම හේතුවෙනි . ඒ පාසලේ ඇති පිටිය කෙලවරක උස් කණ්ඩියක් පස් කියුබ් 250 ක් යොදා ගොඩකර බැමි බැද මේ දැවැන්ත පියවර තැබීමට පටන් ගත්තේ මේ සදහා උදව් උපකාර කිරීමට ඩී එස් සේනානායක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ කොලඹ ශාඛාව සමග එක්වයි. ඉන් පටන්ගත් මේ මහා කාර්ය දවසින් දවස සීඝ්‍ර සංවර්ධන කටයුත්තක් සේ දිවා රෑ නොබලා එතුමාගේ දැඩි කැපවීමෙන් දින 80 යන්න මත්තෙන් මාස 6න් අවසන් කල යුතු ක්‍රීඩා පිටිය රාජ්‍ය ආයතන සියල්ලගේම උදව් උපකාරත් අම්පාරේ වෙළද ප්‍රජාවගේත් සහයෝගය ඇතුව මහා වැසි වැටෙන කාලයක සාර්ථකව අවසන් කළේය. මේ දින 80 පුරාම සෑම දිනකම එතුමාගේ වැඩි කාලයක් දිවා රෑ නොබලා මේ කටයුත්ත වෙනුවෙන්ම කැප කලේ රාජ්‍ය නිලධාරීවරයෙකුට මේ තරම් කැපවීමක් අනුන් වෙනුවෙන් යොදවන්නට කිසිදාවත් හැකිදැයි සිතාගන්නවත් නොහැකි තරමටයි. සමහර අවස්ථාවල බදාම රැගෙන ගියේ එතුමායි. තම නිලධාරීන් හා එක්ව වලවල් කපන්න, බිම් සකසන්න තම ශ්‍රමය වැය කළේ නිරහංකාර ලෙසයි.
දිනෙන් දින ඉදිවෙන මේ මනරම් ක්‍රීඩා පිටිය
ඊයේ දින සිසු අයිතියට පත් කළේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ උසස්ම තත්වයේ හොදම ටෙනිස් ක්‍රීඩා පිටිය ලෙසයි. කෝටි එක හමාරක් පමණ වැයවෙතැයි ගණන්බැලූ මේ ක්‍රීඩා පිටිය හැමෝගෙම මහන්සියෙන් ලක්ෂ 50 අඩු මුදලකින් ඉදි කලේ එතුමාගේ ඇති සියලුම කැප කිරීම් සහ දැනුම භාවිතා කරම්නි. ක්‍රීඩා පිටියත් සමග ජාතික ටෙනිස් සංගමය හරහා දක්ෂ පුහුණු කරුවෙක් සහ මිලියන ගණනක් ක්‍රීඩා උපකරණත් පාසලට ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඉදිරි මාස කිහිපය තුළ අම්පාර අවට සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල්වලත් අම්පාරට ආසන්න මොනරාගලත් ටෙනිස් ක්‍රීඩා පිටි ඉදිකර දෙන්නට එතුමා සැලසුම් සකස් කර අවසන්.
අම්පාරෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ටෙනිස් ක්‍රීඩාවෙන් බිහිකර ලීම එතුමාගේ එකම අපේක්ෂාව වන අතර, ලංකාවේ සීමිත පාසල්වලට පමණක් සීමා වූ ක්‍රීඩාවක් අම්පාර වගේ අති දුෂ්කර පළාතක දක්ෂ දරුවන්ට උගන්වා ඒ තුළින් ඉදිරි ජීවිතයට අලුත් පාරක් තනන්නට එතුමා ගත් මේ පියවර දිගාමඩුලු ටෙනිස් ඉතිහාසය තුළ නොමැකී පවතීවි.

බොහොමයක් රජයේ නිලදාරින් වැඩ කරන පැය කිහිපයත් කිසිම එලදායි රාජකාරියක් නොකරන බවට චෝදනා කරන කාලයක තම සියලු කාලය අතිශයින්ම මිනිසුන්ගේ සැපවත්බව වෙනුවෙන් කැපකරන තරු පටි වලට යටින් වූ මනුස්සකම ඉහලින්ම ඉස්මතුවෙන මේ වැනි උසස් නිලධාරීන් රටටම ආඩම්බරයක්.....
Daminda ubayarathna

No comments:

Post a Comment