උහන කණිෂ්ටේ ජිනදාස සර්
යුධ සමයේ අම්පාර බොහොමයක් පාසල් වල කටයුතු අඩපන වූ වකවානුවක් විය. කලක් ගල්ඔය මිටියාවතේ අධ්‍යාපනයේ ඉහලින්ම තිබුනු බොහෝ පාසල් ක්රමාණුකූලව පිරිහී ගියේය. නමුත් උහන කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය පිරිහී නොගිය අතර, අදටත් එහි වර්ධනයක් පෙන්නුම් කිරීම මෙහි ගොවි ජනතාවගේ වාසනාවක් මෙන්ම අදටත් එහි වගකීම් පැහැර නොහැරිය ගුරු භවතුන්ගේ දක්ෂතාවයකි.
උහණ කණිෂ්ඨ විද්‍යාලය පිහිටි භූමිය ගල්ඔය ජනපදය ආරම්භයට පෙර ගම්සභා උසාවි භූමිය විය. ඩි.එස්. සේනානායක මහතා පැමිනීමට පෙර සිටම ගල්ඔය මිටියාවතේ සශ්‍රීකම නගරය උහන විය. මෙම පාසලද ගල්ඔය මිටියාවතේ අනෙක් පාසල් මෙන් පසුබෑමක පැවති අතර, 80 දශකයේ මුල මෙම පාසලට පැමිණි විදුහල්පති කෙනෙක් නිසා කෙටිකාලයකින් ශිෂ්‍යත්වය ඉහලින්ම සමත්වන්නන් සිටින පාසලක් බවට උහන කණිෂ්ඨය පත් විය. ශ්‍රී ලංකාවේ ඉහලින්ම ශිෂ්‍යත්වය සමත්වන්නන්ද උහන කණිෂ්ඨය තුලින් බිහිවීම ආරම්භ විය. මේ අපූරු විදුහල්පති නමින් ජිනදාස විය. ජිනදාස විදුහල්පති යටතේ පාසලේ භෞතික දියුණුව අඩු වුවද පාසලේ විනය ඉහලටම ගෙන ආ අතර පාසල තුල විවිධ ඉසව් සදහා ශිෂ්‍යයන් යොමු කලන ලදි. ප්‍රදේශයේ ඉහලම නිවාසාන්තර තරග ආරම්භයද ඔහු අතින් සිදුවිය. පාසලේ ගුරුවරයෙක් නොපැමිනි දිනට එම පංතිය භාර ගන්නේ විදුහල්පතිතුමායි. එදාට දරුවන්ට ලැබෙන්නේ වටිනා සාර සංග්‍රහයකි. උහන දරුවන් තරගකාරී අධ්යාපයනයකට යොමු කල ජිනදාස විදුහල්පති රාත්‍රී කාලය දක්වාම අධ්‍යාපන කටයුතු පැවැත්වීමට කටයුතු කළේය. අමතර පංති පැවැත්වීමේදී විදුහල්පතිම විශාල කාලයක් ගෙන උගන්වයි. රාත්‍රි 07න් පසු පාරට බැසීම තහනම් වූ කාලයක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාරට බසින දෙමාපියන්ට ආරක්ෂාව සැපයීමට එකල ආරක්ෂක අංශ කටයුතු කලා.
යුධ ගිනිදැල් ඇවිලෙද්දී වෙඩි හඩවල් බෝම්බ හඬවල් ඇම්බියුලන්ස් හඩ මැද දරුවන්ට ඉගැන්වීම පැහැර හැරියේ නැත. හතර වට යුද කදවුරු බැදෙද්දී උහණ කණිෂ්ඨයයේ අධ්‍යපන කඳවුරක් ගොඩනැගුනි. ඉගෙනීම එකම අවිය බව ඔහුගේ ප්‍රතිපත්තිය විය. පාසලේ සියලුම දරුවන්ගේ අත් අකුරු අඩුපාඩු ඔහු හදුනාගත්තා. ලැබෙන සෑම අවස්ථාවකදීම දරුවන්ගේ ගණිතයේ මූලික සංකල්ප පිළිබද අවබෝධය මැන බැලීම ඔහුගේ පුරුද්ක්. ලැබෙන වැටුපට එහා මහා සේවයක් කිරීමට ඔහු ඇතුලු කාර්ය මණ්ඩලය පෙළඹවීමට ඔහු දක්ෂයෙක් වුනා. විදුහල්පතිතුමාගේ සංගීතයට වූ ලැදියාව හා දැඩි කලාකාමී හිත දරුවන්ගේ සංවර්ධනයට ඉහලින්ම බලපාන්ට ඇත. ඔහුගේ සංවිධානාත්මක පෞර්ෂය දරුවන්ගේ ජීවිත තුලට කිදා බැසගිය අතර, ඔහු විදුහල්පති වූ සමයේ ඔහුගෙන් ගුටි නොකෑ අයෙක් උහන නැතිවා සේම, ඔහු විදුහල්පති සමයේ සිටියෙක් නම් සමාජයේ වැඩදායි විනයගරුක පුද්ගලයෙක් වනු නොඅනුමානයි. ගුරුවරුන් දරුවන්ට ගුටි බැට දීම ගැන අද කථාවුනත් කුමන තරාතිරමක දරුවෙක් වුවද කල වැරුද්දට දඩුවම් දීම ජිනදාස විදුහල්පතිතුමා අතින් සිදු විය. ඔහු උහනට කල සේවය විශිෂ්ඨ නිසා, ඔහු විදුහල්පති සමයේ කල සෑම දෙයක්ම විශිෂ්ඨ විය. ඔහුගේ වැඩ වලට අධ්‍යාපන බලධාරීන්ට එදා දොස් කීමට බැරිවූයේ පාසලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දිස්ත්‍රික්කයේ ඉහලින්ම පවත්වාගෙන ආ නිසාවෙනි.
අම්/උහන කණිෂ්ඨයට මහගු සේවයක් කල මේ උතුම් මිනිසා අද කොහේදැයි මේ ලියුම් කරු නොදනී, (අවසානයේ මාලඹේ සිටිබව අසා තිබුනි.) නමුත් ඔහුගේ උගත් කමින් හා දැඩි කැපවීමෙන් කල සේවය උහන ජනතාව අතර තව කාලයක් අමතක කල නොැහැකි බවනම් කිව යුතුය.
Galoya News #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya
No comments:
Post a Comment