අම්පාර-ඉඟිනියාගල මාර්ගයේ 19km පමණ ගමන් කරන විට හමුවන පොල්වත්ත හන්දිය ආසන්නයෙන් වමට හැරී තවත් මීටර් 100 පමණ ගිය තැන මෙම ඓතිහාසික ස්ථානය හමුවේ.
පංචාවාස ලක්ෂණ පෙන්වන ඔවාගිරිය පුරාවිද්‍යා භූමියෙහි ඉතිහාසය ක්‍රි.ව. 5වන සියවස හෝ ඊට පෙර අතීතය(සද්ධාතිස්ස රජ සමය) දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. කාලයත් සමග නටබුන් තත්වයට පත්ව තුබූ මෙම ස්ථානය, පසුකාලීනව ගල් ඔය නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දී ගවේෂණය කොට අනාවරණය කරගන්නා ලදි.
ඔවාගිරිය නටබුන්වලින් බොහෝ ප්‍රමාණයක් ගල් ඔය නිම්න සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වූ අවධියේ භාවිත කල ට්‍රැක්ටර් ආදියෙන් විනාශ වී ගොස් තිබේ. මෙහි වූ නටඹුන් අතර අටපට්ටම් හැඩයෙන් යුතු අසාමාන්‍ය පාදමක් සහිත පැරණි දාගැබක්, පිළිමගෙයක් හා ඊට සම්බන්ධ ගල් කුළුණු හිස්, මුරගල්, කොරවක් ගල්, පැතලි උළු වැනි දෑ දැකගත හැකිය. මේ අතරින් අඩි 11.5 ක් පමණ උස් වූ ස්ථටික හුණු ගලින් නෙළන ලද කවන්ධ බුද්ධ ප්‍රතිමාව සුවිශේෂී වේ. දෙඅත් කැඩී තිබෙන මෙම ප්‍රතිමාවෙහි වූ චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිර්මිතය. 2008 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්‍ෂණ අංශය මගින් මෙම ප්‍රථිමාවේ සංරක්‍ෂණය කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට බිම පතිත වී උරහිස් කොටස් කැඩී තිබූ පිළිමය, දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් යලි ඔසවා ප්‍රතිසංස්කරණය කොට තිබේ. අක්කර 7-8ක පමණ භූමි ප්‍රමාණයක් පුරා ඔවාගිරිය පුරාවස්තු දැකගැනීමට හැකිවේ.
Article by Anjula Basnayaka
No comments:
Post a Comment