Monday, February 6, 2023

රසායනික පොහොරෙන් නිසරු වූ බිමට ‘බයෝ ෆිල්ම්’ සාර්ථක විසඳුමක් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න


රසායනික පොහොරෙන් නිසරු වූ බිමට ‘බයෝ ෆිල්ම්’ සාර්ථක විසඳුමක් මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න
රසායනික පොහොර වගා බිම්වලට යෙදීමේ ප්‍රතිශතය සියයට තිහකින් පමණ අඩු කොට වී වගා බිම්වල ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ජෛව පොහොර විශේෂයක් ලෙස ‘බයෝ ෆිල්ම්’ මේ දිනවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියද යටතේ ගොවි බිම්වලට යොදා ගනී.

වී වගා බිමක හිතකර ක්‍ෂුද්‍ර ජීවී වර්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැකි නව ජෛව පොහොර විශේෂයක් වන මෙය මහනුවර හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න හඳුන්වාදී ඇත්තේ මින් වසර කිහිපයකට පමණ පෙරය.


ජෛව පටල එසේ නොමැති නම් බයෝ ෆිල්ම් සංකල්පය ඇසුරින් නිපදවූ මෙම නව ජෛව පොහොර විශේෂය පිළිබඳව පර්යේෂණ ආරම්භ කොට ඇත්තේ 2000 වසරේ සිටය. වසර පහක් ගත වන තුරුම ඒ පිළිබඳව රසායනාගාර පරීක්‍ෂණ පවත්වමින් බයෝ ෆිල්ම් තාක්‍ෂණය ජෛව පොහොරක් ලෙස කෘෂිකාර්මික බිම්වලට යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සොයා බලා ඇත. වසර 2015 වන විට වී වගාවට අදාළව මේ පොහොර යොදා ගැනීම සම්බන්ධයෙන් මූලික පර්යේෂණ කිහිපයක් සිදුකර ඇති අතර එතැන් සිට ඉකුත් 2018 වසර වන තුරුම කන්න කිහිපයකදී මේ පොහොර යොදා ගෙන ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ සිදු කළ බව මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න පවසයි.

බයෝ ෆිල්ම් ජෛව පොහොර සඳහා මහාචාර්ය ගාමිණී ඇතුළු පිරිස පේටන්ට් බලපත්‍රයද ලබාගෙන ඇත. අම්පාර, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල මහා පරිමාණයෙන් වී වගා කරන බිම්වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව මේ ජෛව පොහොර යෙදීම අරඹා ඇත්තේ 2019 වසරේ සිටය. අද වන විට බයෝ ෆිල්ම් ජෛව පොහොර තෝරාගත් ප්‍රදේශ කිහිපයක වගා බිම් වෙත නොමිලයේම බෙදාහැරීම සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිව ඇතැයි මහාචාර්යවරයා කීය.

බයෝ ෆිල්ම් යනු ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩි කරන දියරයකි. ක්‍ෂුද්‍ර ජීවීන් ජෛව පද්ධති පාලනය කරන කේන්ද්‍රස්ථානයක් වන නිසාම මේ තුළින් වගාවේ අස්වැන්නේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න පැවැසීය.

මෙය ක්‍ෂේත්‍රයට යෙදීමට නිර්දේශ කොට ඇත්තේ ප්‍රමිතියකින් යුතු කාබනික පොහොර හා මිශ්‍ර කිරීමෙන් අනතුරුවය. එසේත් නොමැති නම් වැලි සමඟ මිශ්‍ර කිරීමෙන් අනතුරුවය. ඒ මේ පොහොර ගොයම් ගස්වල කොළ මතුපිටට නොව මුල් වටා, පතිත විය යුතු නිසාය.

මේ හරහා පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, පොටෑසියම්, පොස්පරස් ආදියේ සංයුතිය ඉහළ ගොස් පස අභ්‍යන්තරයේ ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩි කෙරෙන බවට රසායනාගාර පරීක්‍ෂණ හා ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ මඟින් සනාථ වී ඇතැයිද මහාචාර්යවරයා කීය.

සාමාන්‍යයෙන් වී වගා බිමක සරු අස්වැන්නක් ලෙස සැලකෙනුයේ අක්කරයකට වී කිලෝ දෙදහසක් පමණ ලබා ගැනීමට හැකි නම් බව පවසන මහාචාර්යවරයා බයෝ ෆිල්ම් වගා බිමකට යෙදීමෙන් ලැබෙන අස්වැන්න සියයට 20%කින් පමණ ඉහළ නංවා ගත හැකි යැයිද සඳහන් කළේය.

මේ ජෛව පොහොර කන්න කිහිපයක් ක්‍ෂේත්‍රයට යෙදීමෙන් පසේ ක්‍ෂුද්‍ර ජිවී ක්‍රියාකාරිත්වය වර්ධනය වන නිසා වගා බිමට යෙදෙන රසායනික පොහොර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. වසර ගණනාවක් තිස්සේ වගා බිම්වලට රසායන පොහොර යෙදීමෙන් ස්වාභාවික ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති බවත් එමඟින් රසායනික පොහොර නොමැති වගා කළ නොහැකි තැනට පත්ව ඇති බවත් හෙතෙම කීය. බයෝ ෆිල්ම් තුළින් ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන නිසා එමඟින් පසේ සාරවත් බව රැකගත හැකි බවද විදේශයන්ගෙන් පොහොර ආනයනය කිරීමට වැය කරන ඩොලර් ප්‍රමාණයද අඩු කර ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment