විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ
විශ්වවිද්‍යාල උපකුලපතිවරු සමග අද (15) සවස ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකියැයිද ජනාධිපතිතුමා පැවසීය.ව උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වේ. විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව ජනාධිපති තුමා ඔවුනට පෙන්වා දුන් අතර දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නා මෙන් උපදෙස් දෙන ලදි. ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30%ක් වත් online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැකිම විය.
පිටරට අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය පැතිරයාමත් සමග මෙරටට ගෙන්වා ගැනීමට අපට සිදුවූ අතර සිසුන් මෙතරම් පිරිසක් විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවේ. ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිට රටට ඇදී යෑම මෙන්ම දරුවන් තමන්ගෙන් ඈත්ව සිටීම දෙමව්පියන්ටද පීඩනයකි. මේ තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතුයි. සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් වේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොට අඩු වියදම් නව පරිගණක එකලස් කිරීමේ හැකියාව පිළිබද මම සරසවි බලධාරීන්ට ජනාධිපතිතුමා පෙන්වා දෙන ලද අතර. සරසවි ඉංජිනේරු පීඨ ඇතුළු එවැනි විෂය දැනුම සහිත කණ්ඩායම්වලට ඒ සඳහා සහායවීමට පිළිවන් බවද අනාගතයේ දී විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බවත් උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කොට තිබුනි.
සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙවර බඳවා ගන්නා පිරිස 7500කින් වැඩිකර ඇතැයි සඳහන් කළේය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයෝ සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

No comments:
Post a Comment