Tuesday, May 19, 2020

රටට අසාධාරණයක් වන ආකාරයට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම ක්‍රියා කරන්නේනම් එම ආයතනවල සාමාජිකත්වයෙන් ඉවත්වීමට පසුබට වන්නේ නැහැ.


රටට අසාධාරණයක් වන ආකාරයට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම ක්‍රියා කරන්නේනම් එම ආයතනවල සාමාජිකත්වයෙන් ඉවත්වීමට පසුබට වන්නේ නැහැ. 

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ - ජනපති ප්‍රතිඥා දෙයි


රණවිරු ගරුත්වය සහ අයිතිවාසිකම් හැමවිටම ආරක්ෂා කරන බවට සහතිකයක් ..

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු දෙනාට අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් කැප වෙනවා.

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. 
බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස  අද (19) පස්වරුවේ  පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ කියා සිටියේය.
ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර  රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්විණි.
ලෝකයේ බලවත්යැයි හඳුන්වන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර තිබේ. එවැනි පසුබිමක අප වැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු, දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි රාජපක්ෂ මැතිතුමා පැවසීය.
යුද්දයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා  ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බව ද එතුමා කීය. 
ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට  කළ හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා පිළිගැනීමේ කතාව  කළේය.  ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිස රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය. 
සමස්ත සැමරුම් උළෙල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලැබීය. 
සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු රණවිරුවෝ සහ රණවිරුවන් දෙමාපියෝ, බිරින්දෑවරු සහ දූදරුවෝ උත්සවයට එක්ව සිටියහ.
2020.05.19

No comments:

Post a Comment