විදුලි පාරිභෝගිකයන් හට සහන සැලසීම සම්බන්ධයෙන් ජුලි මස 01 වැනි දා පැවැති ඇමැති මණ්ඩල සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් ද පත්කෙරිණි.
විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරුණු එම කමිටුවේ වාර්තාවට අනුව විදුලි පාරිභෝගිකයන් උපරිම සහන ලබාදිය යුතු බව නිර්දේශ කර තිබේ.
ඒ අනුව මසකට විදුලි ඒකක 90 දක්වා පරිභෝජනය කරන සියලුම පාරිභෝගිකයන් වෙත ඔවුන්ගේ ආදායම් අඩුවීම සහ අහිමිවීම සැලකිල්ලට ගෙන මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල මාසික විදුලි බිල්පතට සියයට 25ක වට්ටමක් ලබාදීමට යෝජනා කර තිබේ.
මෙමගින් ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි (පෞද්ගලික) සමාගම යටතේ සිටින ගෘහස්ථ පාරිභෝගිකයන් මිලියන 4.8කට සෙත සැලසේ.
එම විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය මෙරට සමස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 73ක් පමණ වන අතර එයින් විදුලි බල මණ්ඩලයට මසකට රුපියල් මිලියන 500ක පමණ අලාභයක් දැරීමට සිදුවේ.
එසේම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම සඳහා තවත් තුන් මාසයක සහන කාලයක් ලබාදීමට යෝජනා කොට ඇති අතර ඒ අනුව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී එම බිල්පත් ගෙවීමට අවකාශ සැලසේ.
සියලුම ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) මගින් විදුලි බිල්පත් ගෙවන පාරිභෝගිකයන්ගෙන් අය කෙරුණු සියයට 0.95ක ගාස්තුව ඉවත් කරන ලෙසත් මෙම කමිටුව නිර්දේශ කොට තිබේ.
එමෙන්ම මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් හිඟ මත අය කෙරුණු පොලිය අත්හිටුවීමටත් විදුලි බිල්පත් නොගෙවීම නිසා සිදුකරන විදුලි විසන්ධි කිරීම් නතර කිරීමටත් මෙම කමිටුව නිර්දේශ කර ඇත.
වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව නිවෙස්වලම රැඳී සිටීම නිසා විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට දැරිමට සිදුව ඇති බරෙන් කොටසක් දැරීමට රජය තීරණය කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
විදුලි බිල්පත්වලට සහන සැලසීම සම්බන්ධව සොයා බැලීමට පසුගිය සතියේ පත්කරන ලද ලද පංච පුද්ගල කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ (08) යොමු කළ බවත් එම කමිටුව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත ලබන සතිය වන විට පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

No comments:
Post a Comment