Tuesday, September 7, 2021

අම්පාර උදයපුර ටැම්ලිපිය


අම්පාර කල්මුණේ පාරේ උදයපුර බෝගහ අසලින් ඇති මාර්ගයේ 200m පමණ දුර යන විට වත්මන් උදයපුර ක්‍රීඩාංගණය හමුවන අතර ක්‍රීඩාංගනයට අසල මෙම අත්තානි

 කණුව පිහිටා ඇත. ශිලා ස්ථම්භයක් මෙලෙස අත්තානි කණු ලෙස හදුන්වන අතර, මෙහි උස අඩි 6 අගල් 6ක් පමණ වේ. පළල අඩියක් වේ. මෙහි 3න් පැත්තක අකුරු කොටා ඇත. එක් පැත්තක අකුරු පේලි 26කි. ටැම් ලිපිය මුදුනේ පුන්කලසක් මෙන් ගෝලාකාර හැඩයකි. මෙම ප්‍රදේශය කලින් හැඳින්වූයේ පන්සල් වත්ත නමිනි. ⁣අද මෙහි නිවාස සංඛීර්ණයකි. 


මෙය නටඹුන් කලාපයක් බවත් මේ අවට තවත් ඉදිකිරීම් නටඹුන් සොයාගත් බැවින් මෙම නටබුන් කලාපය ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස රජය 2014 ඔක්තෝම්බර් 10 දින නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරයි. එහිදී මෙම පුරාවිද්‍යා කලාපයක් ලෙස නම්කරන අතර, එහි ටැම් ලිපියට අමතරව පෞරානික දේ විසිරී ඇති බවත් සදහන් වේ. මීට අමතරව මේ ටැම් ලිපියේ අඩංගු කරුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හදුනාගෙන එහි ඇති විස්ථරය ටැම්ලිපිය ඉදිරියේ ප්‍රදර්ශණය කොට ඇත.
#උදයපුර #ටැම්ලිපිය
රාජ්‍ය කාලය           -හතරවන උදය
                                 -(ක්‍රිස්තු වර්ෂ 946 -954)
කාලය                     -ක්‍රි.ව. 10වන සියවස
අක්ෂර හා භාෂාව-මධ්‍යකාලීන සිංහල
අන්තර්ගත කරුණු:-
හතරවන උදය රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයේ ඉල් මස (ඔක්තෝබර් - නොවැම්බර්) පුර පක්‍ෂයේ දසවන දින
රාජ්‍ය නිලධාරීන් විසින් මෙම අත්තාණි කණුව පිහිටුවා තිබේ. මෙතෙර දිගාමඩුල්ලේ පිහිටි නිල්ගලු වෙහෙරට
අයත් මුඩැරලා ගමට දෙන ලද වරප්‍රසාද පිළිබඳව එම ලිපියෙන් කියැවෙයි. එසේම රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි කටයුතු සඳහා මේ ගමට ඇතුල්වීම තහනම් කර ඇති
අතර, එළ ගවයන්, මී ගවයන් සහ දළ රහිත අලි ගමට ඇතුල් නොකළ යුතු බව ද ගම් සීමාව තුළ බෙර වාදනය කිරීම නොකළ යුතු බව ද මෙහි සඳහන්ය.
#පුරාවිද්‍යා #දෙපාර්තමේන්තුව 



1Vවන උදය රජතුමාට කලින් රජකළ රජවරු සොලී රට ආක්‍රමණය කොට ඔවුන් රාජාභිෂේක කිරීමට අවශ්‍ය රාජ්‍ය කකුධ ලංකාවට ගෙන එන ලදි. අවස්ථාව බලා සිටි සොලීන් 1Vවන උදය රජු සමයේ අනුරාධපුරය ආක්‍රමණය කොට තමන්ගේ රාජාභිෂේකයට අවශ්‍ය කකුධ හා තවත් වස්තුව අත්පත්නොට ගෙන උදය රජුව සෙවූ අතර, උදය රජු රුහුණු රටට පලා ආ බව ඉතිහාසයේ සදහන්. 
ඒ උදය රජතුමා අද අම්පාරේ උදයපුර එදා සශ්‍රීක ගමක්ව තිබුනු එදා මුඩරැලෑ ගමට මෙම වරප්‍රසාද දී ඇත. මෙහි ඇති තොරතුරු වලින් පෙනී යන්නේ මෙම ප්‍රදේශයේ වරප්‍රසාදිත පිරිසක් සිටි බව පමණක් නොවේ මේ ගමට මිහරක් ගවයන්  දල නැති ඇත්තු නොඑවන්නට නම් මේ අවට විශාල ලෙස මේ සත්තු නඩත්තු කරන ප්‍රදේශ තිබෙන්නට ඇත. එනම් මේ අවට සංඛීර්ණ ගමකි. හතරවන උදය රජතුමා මෙවැනි ටැම් ලිපියක් සොරබොර වැව අසලද සකස් කොට ඇත. එම ටැම් ලිපියනම් ඉතා ආරක්ෂාකාරීව සකස්කොට තිබෙනු දැකිය හැකිය. එදා දල ඇත්තු පමණක් රැගෙන ආ උදයපුරට අද වල් අලි කෙලින්ම පැමිනෙයි. මේ අවට පුරාවිද්‍යා කලාපයක් ලෙස නම්කරන්නේ මේ අවට ඇති තවත් පුරාවස්තු මතුකරගෙන අපගේ ශේෂ්ඨතම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීමටයි. අද මේ පුරාවිද්‍යා කලාපයම පර්චස් 10කට පමණක් සීමා වී ඇත. 

එහි වේගයෙන් නිවාස ඉදිවෙමින් පවතී. එවැනි අවස්ථාවක මේ ටැම්ලිපිය මීට වඩා ගෞරවයකින් ආරක්ෂා කල යුතුය. මේ අවට පුරාවස්තු විශාල වශයෙන් ගමේ මිනිසුන්ට හමුව ඇති අතර ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී මේවා බොහොමයක් විනාශවී ඇත. ජායාරූපයේ නයි පෙන 07ක් සහිත ගල්තලාවද විනාශවී ඇත. මේ ටැම්ලිපිය වරක් වරක් බිමට පෙරලුන අතර පසුව මෙය නැවත් යකඩ වැටක ආවරණයක් ලබා දී ඇත. 

මීට වසර 1500කට ඉහතදී 1Vවන උදය රජතුමා මේ ඉදිකිරීම නිමවූ අතර අද පරම්පරාව මෙය විනාශවීමට දී බලා සිටීම නුවණට හුරු නොවේ. මේවා නිර්මාණශීලීව ආරක්ෂාකිරීමෙන් අපතුළ අප කෙරෙහි වඩා අභිමානයක් ගෞරවයක් ඇතිවේ. අපේ මිනිස්සු නිරෝගී මනසකින් ලෝකය දෙස බලාවි. පෞඩ ඉතිහාසයක් හිමි රුහුණු රාජධානියේ සශ්‍රීක කොටසක හිඳිනා බුදුන්ගේ පහස ලද බිමක හිදිනා, ශ්‍රී දන්තධාතුන් වහන්සේ සුගලා දේවිය රකිද්දී ඇයට ශක්තියක් වී පරාක්‍රමබාහු රජු නැවත එය රැගෙන යෑමට පැමනෙන විට තම උරුමය විනාශ වේවි යැයි බියෙන් සටන් වැදුනු අභීත මිනිසුන්ගේ ලේ දහඩිය මත ජීවත්වන ගල්ඔය අපි අපගේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සංරක්ෂණට වැඩි අවස්ථාවක් උදාකරගත යුතුය. අම්පාර නගරයතුල මේ පුරාවස්තු සංරක්ෂණය තුලින් අම්පාර නගරයේ වටිනාකම තවත් වැඩිදියුණු කල හැකි නොවේද?
ගල්ඔය News


No comments:

Post a Comment