Friday, January 6, 2023

මේ වසර තුළ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීමටවත් ආණ්ඩුවට මුදල් නෑ.


මේ වසර තුළ හදිසි මැතිවරණයකට
ගියහොත් ඉදිරි මහ කන්නයේදී වී මිලදී
ගැනීමටවත් ආණ්ඩුවට මුදල් නෑ.

මෙවර හෙක්ටයාර් ලක්ෂ 08ක අස්වැන්නක්

මේ වසර තුළ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් අහිමිව යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.


වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් යළිත් සහල් වෙළෙඳපොළ කඩා වැටීමේ අවදානමක් පවතින බවද මුදල් අමාත්‍යාංශ වාර්තාවන්හි දැක්වෙන බවද හෙතෙම කීය. මේ තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශය පමණක් සහල් මිලදී ගැනීමට පෙලඹීම නිසා ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්ව වී මිල ශීඝ්‍රයෙන් පහළ යනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

යල කන්නයේද හොඳ සහල් අස්වැන්නක් ලැබීමත් මහ කන්නයේදී වී අස්වැන්න ඉහළ යා හැකි බවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ රජයට වී වෙනුවෙන් සහතික මිලක් නියමකොට වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් වී වෙළෙඳපොළ කඩා වැටෙනු ඇත. ඒ තුළ සහල් ඒකාධිකාරයක් නිර්මාණය වීම නිසා සහල් මිලද ඉහළ යෑමේ අවදානමක් පවතින බවද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

මහ කන්නයේදී හෙක්ටයාර ලක්ෂ අටක වී අස්වැන්නක් බලාපොරොත්තු වන අතර ඉන් ලැබෙන අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් මිලියන තුනක් රජය මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවද එම මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වැය කිරීමට වන අතර හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඉහත මුදල වී මිලදී ගැනීමේ කටයුතු සඳහා යෙදවීමට නොහැකි වන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

රසායනික පොහොර භාවිතය නතර කිරීමත් සමඟ කඩා වැටී තිබූ සහල් අස්වනු මෙවර ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර වී අතිරික්තයක් ඇති වීම තුළ සහලින් රට ස්වයංපෝෂිත කිරීමට රජය ඉලක්ක කරගෙන සිටින බව කී මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා මැතිවරණයකට හදිසියේ විශාල මුදලක් වැය කරන්නට සිදු වුවහොත් සියලු කෘෂිකාර්මික ඉලක්ක බිඳවැටී නැවතත් රට තිබූ තත්ත්වයට පත්වීම වැළැක්වීමට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.

මැතිවරණ කොමිසම රුපියල් බිලියන 12ක් මැතිවරණය වෙනුවෙන් ඉල්ලා ඇති අතර එම මුදල ඊට වඩා වැඩි විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ අදහසයි.
 #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment